ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන් වන ලේකම් ලෙස සේවය කරමින් සිටි ඊ.කුෂාන් නැමැති පුද්ගලයා අද (29දා) දින අලුයම ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු සනාථ කළේය.
මෙම ලේකම්වරයා ඕමානයේ ගෘහ සේවය සදහා ගොස් සිටි කාන්තාවන්ට ලිංගික අඩන්තේට්ටම් කිරීම, ඒ සදහා පෙළඹවීම, ඒ සදහා බලපෑම් කිරීම, මිනිස් ජාවාරම් කිරීම, ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් අලෙවි කිරීම ඇතුළු තවත් දූෂණ චෝදනා රාශියකට වගඋත්තරකරුවෙකු වී සිටින පුද්ගලයෙකි.
මෙම සැකකරු 11/29 දින අලුයම 03.57 ට ඕමානයේ මස්කට් නුවර සිට සලාම් එයා ගුවන් සේවයේ ඕ.වී.- 437 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මේ වනවිට මෙම පුද්ගලයා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන මේ පිළිබඳව ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටිති. සැකකරු 'කුෂාන් සර්' යන නමින් ප්රසිද්ධිව සිටියි.