ඓතිහාසික කතරගම දේවාලයට බැතිමතකු විසින් පූජා කරන ලද රන් තැටිය අස්ථානගතවීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඊට වගකිවයුතු වූ සැකකරුවන් සිටී නම් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත දැනුම් දී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට වසර කීපයකට ඉහතදී පවුම් තිහක (ග්රෑම් 240), බර ප්රමාණයකින් යුත් රන් තැටියක් බැතිමතකු විසින් ප්රධාන කපු මහතා සේවාවේ යෙදී සිටියදී පූජා කර තිබූ අතර එය අස්ථානගත වී ඇති බව කතරගම බස්නායක නිලමේවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණිලි කර තිබිණි.
එම විමර්ශන ආරම්භ කිරීමත් සමගම බැතිමතා විසින් පූජා කරන ලද රන් තැටියට සමාන ලෙස සැකසූ රන් තැටියක්
දේවාලය වෙත තබා තිබිණි.
ඒ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ගොනුවක් යොමු කර තිබිණි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂක සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ඇන්සලන්ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් ඒකක එක ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස් පි ජි ජේ නිශාන්ත මහතාගේ මූලිකත්වයෙන් පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.