වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථාන නියාමනයට නව නීති සහ මාර්ගෝපදේශ මාලාවක්
වැඩිහිටියන් 5කට වඩා සිටින ආයතන ලියාපදිංචිය අනිවාර්ය කෙරේ, නීතිය කඩ කරන්නන්ට එරෙහිව දැඩි පියවර
වත්මන් සමාජයේ වයස්ගත වන ජනගහනය මුහුණ දෙන ඩිමෙන්ෂියාව වැනි මානසික සෞඛ්‍ය තත්ත්වයන් සහ විවිධ කායික රෝගාබාධ සැලකිල්ලට ගනිමින්, දිවයිනේ නේවාසික වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා නව නියෝග සහ මාර්ගෝපදේශ මාලාවක් සකස් කර ඇතැයි ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය පවසයි. වැඩිහිටි ලේකම් කාර්යාලය සහ වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික සභාව එක්ව සකස් කරන ලද මෙම මාර්ගෝපදේශ මාලාවේ කටයුතු මේ වන විට අවසාන අදියරේ පවතින බව එහි අධ්යක්ෂ කේ. චතුර මිහිඳුම් මහතා සඳහන් කරයි.
මෙතෙක් පැවති ක්‍රමවේදයන් වෙනස් කරමින් සකස් වන මෙම නව මාර්ගෝපදේශ මාලාව යටතේ සිදුවන සුවිශේෂී වෙනස්කම් සහ වත්මන් තත්ත්වය මෙසේය.
වයස අවුරුදු 60ට වැඩි, විශේෂ රැකවරණ අවශ්‍ය සහ විවිධ රෝගාබාධවලින් පෙළෙන වැඩිහිටියන් වෙනුවෙන් ඒ සඳහාම විශේෂ පුහුණුවක් ලැබූ නේවාසික සාත්තු සේවිකාවන් සහ සේවකයන් වෙන වෙනම සිටීම අනිවාර්ය වේ. කිසිදු ආබාධිත තත්ත්වයක් නොමැති වැඩිහිටියන් පමණක් සිටින ස්ථානයක පාලකයෙකු හෝ පාලිකාවක සිටීම ප්‍රමාණවත් වුවද, විශේෂ සෞඛ්‍ය ගැටලු සහිත නේවාසිකයන් සිටින ස්ථානවල පුහුණු සාත්තු සේවකයන් සිටීම මින් ඉදිරියට අනිවාර්ය වනු ඇත. මීට අමතරව, මධ්‍යස්ථානයක සිටින වැඩිහිටියන් සංඛ්‍යාවට සාපේක්ෂව සිටිය යුතු සාත්තු සේවක ප්‍රමාණයද නව රෙගුලාසි මඟින් පැහැදිලිව අනුපාතයන් සහිතව නිර්වචනය කර ඇත.
මානසික රෝගාබාධ හෝ වෙනත් අපහසුතා නිසා රෝගීන් ඇඳන්වල ගැටගසා තැබීම අමානුෂික ක්‍රියාවක් බව පෙන්වා දෙන අධ්යක්ෂවරයා, සාමාන්‍ය වැඩිහිටියන් සහ මෙවැනි විශේෂ අවශ්‍යතා සහිත වැඩිහිටියන් එකම කුටියක රඳවා තැබීම අනුමත නොකරන බව පවසයි. නව මාර්ගෝපදේශවලට අනුව මානසික රෝගාබාධවලින් පෙළෙන වැඩිහිටියන් සාමාන්‍ය වැඩිහිටියන්ගෙන් වෙන් කර, ඔවුන් වෙනුවෙන්ම වෙන්වූ විශේෂිත වැඩිහිටි නිවාසවල රඳවා තැබිය යුතු අතර ඔවුන් වෙනුවෙන් විශේෂිත පුහුණුවක් ලැබූ සාත්තු සේවකයන් යෙදවිය යුතුය.
ඉදිරියේදී දිවයින පුරා ස්වේච්ඡා සංවිධාන, ආගමික මුහුණුවරකින් හෝ වෙනත් ආකාරයකින් පවත්වාගෙන යනු ලබන සියලුම වැඩිහිටි සාත්තු සේවා මධ්‍යස්ථාන සමාජ සේවා කටයුතු දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචියට හා විධිමත් නියාමනයකට ලක් කෙරේ.
වැඩිහිටි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතේ 16(2) වගන්තියට අනුව, වැඩිහිටියන් 5 දෙනෙකුට වඩා රඳවා තබා ගන්නා ඕනෑම ආයතනයක් හෝ පුද්ගලයකු "වැඩිහිටි තැනැත්තන් වෙනුවෙන් වන ජාතික සභාවේ" ලියාපදිංචි වීම අනිවාර්ය වන අතර, එසේ නොවීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි. මෙතෙක් මෙම පනත යටතේ නඩු පැවරීම් සිදු කර නොමැති වුවද, ඉදිරියේදී නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ලේකම් කාර්යාලය අවධාරණය කරයි.
දැනට පවතින රෙගුලාසි අනුව ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ අයැදුම්පත පුරවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ලියාපදිංචි විය යුතුය.මෙහිදී වසර තිහක බදු ඔප්පුවක්ද තිබිය යුතු අතර එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) විසින් ස්ථානීය පරීක්ෂණයක් සිදු කර, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා විසින් සෞඛ්‍යමය තත්ත්වය උසස් මට්ටමක පවතින බවට තහවුරු කළ වාර්තාවක් ලබා දීමෙන් පසු ලියාපදිංචිය සිදු කෙරේ.
කෙසේ වෙතත්, රට තුළ පවතින වැඩිහිටි නිවාස වලින් ලියාපදිංචියට යොදා ඇති 456න් පසුගිය වසරේ ලියාපදිංචි වී ඇත්තේ වැඩිහිටි නිවාස 148ක් පමණි. ඉතිරි ආයතන 300 කට අධික ප්‍රමාණයක් තවමත් ලියාපදිංචි වී නොමැති අතර, ඊට ප්‍රධාන හේතුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නිර්දේශ කරන සෞඛ්‍යමය පහසුකම් සපුරාලීමට ඇති අපහසුතාවයයි. මෙම ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සඳහා වසරක් හෝ දෙකක් වැනි කාලයක් ගත විය හැකි අතර, දැනට ලියාපදිංචි නොමැති ආයතන වෙත අඩුපාඩු සපුරාලන ලෙස දන්වා ලිපි යොමු කර ඇති බවත්, ඉදිරියේදී ඒ වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පැවසේ.
පසුගිය දිනවල සිදුවූ ඇතැම් සිදුවීම් දෙස බැලීමේදී, මෙම ආයතන මඟින් විශාල සමාජ සේවයක් සිදු කළද ලියාපදිංචි නොවීම නීති විරෝධී වේ. රජයකට මෙවැනි ආයතන එකවර වසා දමා නේවාසිකයන් වෙනත් ස්ථානවලට ගෙන යා නොහැකි වුවද, ඔවුන් දිරිමත් කර අවශ්‍ය පහසුකම් සපුරා දී ලියාපදිංචි කරවීම රජයේ වගකීමක් බව අධ්යක්ෂවරයා පෙන්වා දෙයි.
ඒ අනුව, පසුගිය සිදුවීම් පාඩමකට ගෙන 2025 වසරේදී "වැඩිහිටියන් සඳහා වන ජාතික ප්‍රතිපත්තිය" සකස් කරන ලදී. ඊට සමගාමීව 2011 අංක 5 දරන වැඩිහිටි තැනැත්තන් ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය කිරීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය පසුගිය වසරේදී ලැබී ඇති අතර, මේ වන විට එය නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ ඉදිරි කටයුතු සඳහා යොමු කර ඇත. ඉදිරියේදී වඩාත් විනිවිදභාවයකින් සහ සැලකිලිමත්භාවයකින් යුතුව වැඩිහිටි නිවාසවල ප්‍රමිතිය ඉහළ නැංවීමට රජය කටයුතු කරනු ඇත.
DN අභයවර්ධන
(IJ)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

