මවක් සමඟ ඇති කර ගත් ආරවුලකින් අනතුරුව එම මවගේ දරු තිදෙනා පාසලෙන් එළියට දැමීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් දෙමව්පියන් පිරිසක් අද (11දා) අනුරාධපුර ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිටට පැමිණ තම විරෝධතාවය පළ කර සිටියහ.
එම දරුවන් උදෑසන ආහාර ගනිමින් සිටියදී එම විදුහල්පතිවරයා තමන් ඉදිරිපිටදීම එම දරුවන් පාසලෙන් එළියට දැමූ බවත්, නාම ලේඛනය ගෙන නම් කපා දමන ලෙසට එක් ගුරුවරියකට විදුහල්පතිවරයා පැවසූ බවද පාසලේ උදෑසන ආහාරය සකස් කරමින් සිටි දෙමව්පියන් පිරිසක් මෙහිදී පැවැසූහ.
එම ස්ථානයේ රැස්වී සිටි දෙමව්පියන් පැවසූයේ මීට පෙරත් පාසල් සිසුන් කිහිප දෙනෙකුට මෙම විදුහල්පතිවරයා අමානුෂික අයුරින් බිම පාගා පයින් පහරදීම් සිදු කර ඇති බවය.
පාසලේ ළමයින් හට ඉගැන්වීම් සඳහා පෞද්ගලික වියදමින් පාසලට පරිගණක යන්ත්‍ර රැගෙන ගුරුවරියක් ඇතුළු ගුරුවරියන් කීප දෙනෙකු මෙම විදුහල්පතිවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් මාරු වීම් ලබා ගෙන පාසලේ ගිය බවද එම දෙමව්පියන් පැවසූහ.
විදුහල්පතිවරයා කාන්තාවක් සමග කාර්යාලයේ සිටින විට කාර්යාලයේ දෙස බලමින් ගමන් කළ දරුවන් කිහිප දෙනකුට ද දෙනකුට ද මෙම විදුහල්පතිවරයා බැන වැදීමෙන් අනතුරුව විදුහල්පති කාර්යාලයට යෑමට ද ඇතැම් දරුවන් බිය පළ කරන බවද එම දෙමව්පියෝ පැවසූහ.
මෙහිදී අදහස් දැක්වූ එම දරු තිදෙනාගේ මව මෙසේ කීය.
දරුවන්ගේ නැටුමකට අවශ්‍ය කලයක් ලබා ගැනීමට විදුහල්පතිවරයාගේ කාර්යාලයට ගිය අවස්ථාවේදී විදුහල්පතිවරයා කාන්තාවක් සිදු කළ ප්‍රකාශයකින් අනතුරුව එම මවගේ පැත්ත ගෙන විදුහල්පතිවරයා මට පරුෂ වචනයෙන් බැණ සිටියා, වහාම ළමයින් රැගෙන පාසලෙන් පිටවන ලෙසට ද තර්ජනය කළා. එම අවස්ථාවේදී තවත් දෙමව්පියන් පාසලේ සිටියා. මේ ප්‍රදේශයේ කුඩු කාරයෝ ඉන්නවා, මම නැති වෙලාවක මේ දේ වුනා නම් , මම දන්නෙ නැහැ ළමයි පාරේ,
අවුරුදු දහයකට ආසන්න කාලයක් මේ විදුහල්පතිවරයා මේ ඉස්කෝලේ, දෙමව්පියන් කිහිප දෙනෙක් ඇරුනහම කිසිම කෙනෙක් මෙම විදුහල්පතිවරයාට කැමති නැහැ. අධ්‍යාපන බලධාරීන් ඇවිල්ලා දෙමව්පියන්ගේ රැස්වීමක් තියලා ඒ අයගෙන් කරුණු විමසලා, විමර්ශනය කරලා බලන්න පුළුවන් දෙමව්පියන් කියන්නේ ඇත්ක්ද කියලා,
මේ සම්බන්ධයෙන් අප සිදුකළ විමසීමකදී අදාළ පාසලේ විදුහල්පතිවරයා මෙසේ පැවසීය.
ළමයින්ට සෙල්ලම් කිරීමට කලයක් රැගෙන යාමට කාර්යාලයට පැමිණි අවස්ථාවේදී, මෙම මව පාසල් භූමියේදී මට පරුෂ වචනයෙන් බැණ වැදුනා. සම්බන්ධයෙන්ම පොලිසියේ පැමිණිල්ලක් සිදු කළා.ඒ අය හොඳ අය නෙවෙයි, ඔය විරෝධතා දක්වන්නේ එකම පවුලක මුණුපුරන්, දෙමව්පියන් සහ ආච්චිලා සීයලා පිරිසක්,මට කිසිම ඕන කමක් නෑ මේ පාසලේ බලහත්කාරයෙන් රැඳී සිටින්න, මාරුවක් ආවොත් හෙට වුණත් මම යන්න සූදානම්. මේ අය බැලුවා මාව අල්ලස් චෝදනාවකට ලක් කරන්න, බැරිම තැන දැන් හදනවා මගේ චරිතය ඝාතනය කරන්න.
ඉන් අනතුරුව මෙම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීහු රැස්ව සිටි දෙමව්පියන් හට ඒ සම්බන්ධයෙන් ගැටළුවක් ඇත්නම් පොලිසියට සහ කලාප කාර්යාලය ට ගොස් පැමිණිල්ලක් සිදු කරන ලෙසට කරුණු පහදා දීමෙන් අනතුරුව සිද්ධියට සම්බන්ධ මාව දරු තිදෙනා සමඟ ගොස් පොලිසියේ පැමිණිල්ලක් සිදු කළ අතර, රැස්ව සිටි දෙමවුපියන්ගේ අත්සන් සහිතව අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියට ලිපියක් ද භාර දුන්හ.
