ළමා අපචාර, අපයෝජන, දූෂණ, ස්ත්රී දූෂණ නඩු විභාග කිරීම සඳහා සතියට විශේෂ දිනයක් හෝ ළමා අධිකරණයක් පිහිටුවන ලෙස ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය පැවසීය.
පාර්ලිමේන්තුවේ අද (10දා) පැවති විවාදයට එක්වෙමින් මන්ත්රීවරිය මේ බව සඳහන් කළාය.
අපේ රටේ අපිට හිතන්න බැරි තරමේ අනාරක්ෂිතයි කියන එක මම මේ අවස්ථාවේ කියනවා. චූදිතයන් නිදහස් වෙලා යන අවස්ථා තියෙනවා. මම දන්නේ නෑ මේ නීතිය ඇතුලේ කාන්තාවන් සහ දරුවන් සම්බන්ධයෙන් තීරණ ගන්නකොට නීතියේ ඇඟිලි අස්සෙන් යන්නේ කොහොමද කියලා. අපි දන්නවා ජර්මන් තරුණියක් දූෂණය කළ, එයාගේ පෙම්වතා මරලා දාපු චූදිතයාව නිදහස් වෙනවා. ඒ වගේම කාන්තාවන් 100ක් දූෂණය කළා කියලා බොහොම ප්රසිද්ධ වුණු සාරුවා සුනිල් නිදහස් වෙලා යනවා. මම දන්නේ නෑ ඒකට හේතුව මොකක්ද කියලා. මම ඇමතිතුමාට කියනවා ළමා අපචාර, අපයෝජන, දූෂණ, ස්ත්රී දූෂණ නඩු වලදී චූදිතයන්ට ගැලවිලා යන්න එක හේතුවක් තමයි නඩු වලට ගතවන කාලය. ඒ නිසා මම ඔබතුමාට යෝජනා කරනවා මේ දරුවන් සම්බන්ධයෙන් සහ දූෂණ, ස්ත්රීන්ට සිදුවන අපචාරයන් සම්බන්ධයෙන් වන නඩු සඳහා සතියකට විශේෂ දිනයක්, එහෙමත් නැතිනම් ළමා අධිකරණ හෝ වෙනත් කුමන ක්රමවේදයක් සකසන්න.