හොර ඒජන්සි වැටලීම ජාඇලෙන් අරඹයි
වීසා උපදේශන කටයුතු සිදුකරන මුවාවෙන් ව්‍යාජ විදේශ රැකියා ආයතන පවත්වාගෙන යමින් මුදල් වංචාකරන සිදුවීම් ගණනාවක් පසුගිය සමයේ වාර්තා වූ අතර, එම ආයතනවලට එරෙහිව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් සිදුකරන වැටලීම් පුළුල් කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.
ජාඇල, කදාන ප්‍රදේශයේ NG Consultants Services නමින් වීසා උපදේශන කටයුතු සිදුකරන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන යමින් රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 36ක මුදලක් වංචාකළ සිදුවීමක් සම්බන්ධයෙන් කාර්යාංශයට පැමිණිලි දෙකක් ලැබී තිබුණි.
රුමේනියාවේ ට්‍රක් රථ රියදුරු රැකියා ලබාදෙන බව පවසා කැළණිය හා වේයන්ගොඩ යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් මෙසේ මුදල් ලබාගෙන ඇත. කාර්යාංශය වෙත ලද පැමිණිලි අනුව ක්‍රියාත්මක වූ විමර්ශන නිළධාරින් අදාළ ස්ථානය වැටලීම් කරන ලද අතර, එහිදී අදාළ ආයතනයේ හිමිකරු අත්අඩංගුවට ගන්නා ලදී. එසේම අදාළ ස්ථානයේ තිබූ රැකියා ගිවිසුම් හා ලේඛන සකස් කරන ලද ලැප්ටොප් පරිගණකද නිළධාරීන් භාරයට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් සැකකරු වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අතර, සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.
මෙම ජාවාරමට සහය වූ තවත් කාන්තාවක් පෙබරවාරි 18 දින කාර්යාංශය වෙත කැඳවා ප්‍රකාශ ලබාගත් අතර, ඇය සතුව පැමිණිලිකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර තිබී නිළධාරීන් භාරයට ගන්නා ලදී. ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අදාල කාන්තාව අත්අඩංගුවට ගෙන වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අතර, සැකකාරිය පෙබරවාරි මස 25 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මේ අතර, මීගමුව ප්‍රදේශයේ A & T Consultants නමින් වීසා උපදේශන කටයුතු සිදුකරන මුවාවෙන් ව්‍යාජ විදේශ රැකියා ආයතන පවත්වාගෙන යමින්, සමාජ මාධ්‍ය ඔස්සේ යුරෝපා රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකරන ආයතනයක්ද කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් 2026.02.17 දින වැටලීම් කරන ලදී. අදාළ ආයතනය මගින් කැනඩාවේ සාත්තු සේවා රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 55ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට කාර්යාංශය වෙත ලද පැමිණිල්ලක් අනුව මෙම වැටලීම සිදුකර තිබේ.
එහිදී අදාළ ආයතනයේ හිමිකරු අත්අඩංගුවට ගත් අතර, අදාළ ස්ථානයේ තිබූ රැකියා ගිවිසුම් හා විදේශ ගමන් බලපත්රයක්ද නිළධාරීන් භාරයට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අතර, සැකකරු එහිදී වරද පිලිගෙන රු.250,000.00 ක මුදලක් එම අවස්ථාවේ ගෙවීමට එකග වූ හෙයින් ඇප මත මුදාහරින ලදී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

