රටේ ජනතාව අරගල කරමින්, පෙළපාලි යමින් උත්සහ කළේ බලයේ සිටින හොරුන් ගෙදර යැවීමට බවත්, කෙසේ වෙතත් එම හොරු එක්ව සිය ආරක්ෂාවට ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුව හරහා පත් කර ගැනීම සිදුවූ බවත් සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙලෙස අදහස් පළ කර සිටියේය.
මේ රටට අලුත් ජනාධිපතිවරයෙක් ඊයේ පාර්ලිමේන්තුවේදී තෝරා පත්කර ගත්තා. මම පළමුවෙන් එතුමාට සුබ ප්‍රාර්ථනා කරනවා. එතුමාට මේ රට ගොඩ ගන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපිට අහන්න වෙනවා ඊයේ පාර්ලිමේන්තුවේ රටේ ජනමතයද නියෝජනය වුනේ කියලා. අද පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන් 2020 මැතිවරණ වල එදා තිබුණු වාතාවරණය යටතේ, එදා තිබුණු ජනතාවගේ අදහස අනුව ඉදිරිපත් වූ මන්ත්‍රීවරුන්. ඒ මතය අද වෙනස් වෙලා තිබෙනවා. එහෙනම් අපි කියනවා රටේ මතය මෙතන පිළිඹිබු වෙලා නෑ කියලා. රටේ ජනතාව සිය මතය අනුව එදා පත් කරපු ජනාධිපතිවරයා මේ රටෙන් පැන්නුවා. ඒ ජනාධිපතිවරයා පත් කරන්න කටයුතු කරපු අය තමයි මේක වැඩි හරියක් කළේ. ඒ ජනාධිපතිවරයා සමග පත්කරපු මන්ත්‍රීවරුන් වැඩි හරියක් තමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ.
එහෙනම් අපි අහන්නේ මේ රටේ ජනතාව අරගල කළේ, පෙළපාලි ගියේ විරෝධතා දැක්වූයේ හොරු ටික පන්නන්න කියලා. දැන් අද හොරු ටික එකතුවෙලා එක් පුද්ගලයෙක් පත් කරගෙන සිටිනවා. මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණේ පිරිසිදු දේශපාලනයක්. අපි ඒ නිසා තමයි අත් දෙකම පිරිසුදු සජිත් ප්‍රේමදාස මහත්මයාත් අත්දෙක පිරිසිදු ඩලස් අලහප්පෙරුම මහතාත් එකතුවෙලා එක ගමනක් යන්න ලෑස්ති වුණේ. අපේ පක්ෂය නම් මේකට සත පහක්වත් වියදම් කළේ නෑ. අපිට ඔ්නි ජනතාවගේ මතය අනුව කටයුතු කරන ජනාධිපතිවරයෙක්. මොකක්ද මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඡන්දය දෙන්න හේතුව? රට ආගාදයෙන් ගොඩ ගැනීමද? නැතිනම් රටේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන්නද? අපිට ආරංචි විදියට තිබෙන්නේ තමන්ගේ ගේ පිච්චුන එක හදාගන්න. අපි ඒකට විරුද්ධ නෑ. තමන්ගේ ආරක්ෂාවට. තමන්ගේ වාහන පර්මිට් එක ගන්න. තමන් බලයේ ඉන්න තමයි මෙතන ඉන්න මන්ත්‍රීවරුන් ඡන්දය දීලා තිබෙන්නේ.