හිටපු ජනාධිපතිවරු ආරක්ෂක වාහන ලබා දෙන ලෙස ඉල්ලීමක් කළහොත් ඒ පිළිබඳ සලකා බැලීමට ආණ්ඩුව සූදානම් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත අහෝසි කිරීමත් සමග හිටපු ජනාධිපතිවරුන් ඔවුන්ගේ ආරක්ෂක රථ යළි භාරදීම සිදු කළ අතර, ඒ සම්බන්ධයෙන් අද(07දා) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“පසුගිය දිනක මේ සභාවේදී අනුමත වුණා විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත. ඒ පනත අනුව එතුමන්ලා භුක්ති විඳි සමහර හිමිකම් ආපසු භාරදීමක් මේ වන විට කරලා තිබෙනවා. නමුත් ඒ හිමිකම් පනත යටතට ආරක්ෂාව කියන කාරණය ගැනෙන්නේ නෑ. මේ වන විට එතුමන්ලා තමන් භාවිතා කරපු සමහර ආරක්ෂිත වාහන පවා භාරදීම සිදු කරලා තිබෙනවා. හිමිකම් පනත අනුව හිමිකම් භාර දිය යුතු වුවත් ආරක්ෂාව සැපයීම ආණ්ඩුවේ වගකීමක්. ඒ නිසා ආරක්ෂාවට අදාළ ආරක්ෂිත වාහන ඇතුළු අනිකුත් දේ එතුමන්ලා ඉල්ලීමක් කළොත් ඒ පිළිබඳව ආණ්ඩුව සලකා බලන්න සූදානම්. ”