හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට විදේශගතවීම වලක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්ද නියෝගයක් නිකුත් කර තිබේ.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් මෙම නියෝගය නිකුත් කරන ලද්දේ අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කල අවධියේදී රාජ්‍ය මුදල් අවභාවිතාවක් සිදු කලේ යැයි චෝදනා කරමින් පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් ඉදිරිපත් කර ඇති පෞද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවය.
ලබන ජූනි 07 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා මහේස්ත්‍රාත්වරයා විසින් හිටපු මහ බැංකු අධිපතිවරයාට සිතාසි ද නිකුත් කර තිබේ.
2006 සහ 2015 දක්වා කාලය තුළ මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කල අවධියේදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක් ඇමරිකානු ජාතික සුබේරි නැමැති පුද්ගලයෙකුට ගෙවීම තුළින් සාපරාධි විශ්වාසය කඩකිරීම සහ සාපරාධි පරිහරණයක් සිදු කර ඇති බවට පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ විසින් අධිකරණ හමුවේ කරුණු ඉදිරිපත් කර තිබේ.
එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර ඇතැයිද සඳහන්.