හයිලෙවල් මාර්ගයේ ධාවනය වන සියලුම මගී ප්‍රවාහන සේවා බස් රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ධාවනය කිරීමේ ව්‍යාපෘතිය මාර්තු 01 දා ඉතා සාර්ථකව ආරම්භ කළ බව මහ කොළඹ ප්‍රවාහන ජාල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක නාලක දිසානායක මහතා පැවසීය.
එසේම මෙම ව්‍යාපෘතිය සාර්ථක කිරීමට සහාය නොදක්වන යම් බස් රථ රියදුරෙකු වෙතොත් ඔවුන් පිළිබඳ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය හා ශ්‍රී ලංකා පොලීසිය තොරතුරු ලබා ගනිමින් සිටින බව ද හෙතෙම වැඩිදුරටත් කීය.
ඒ අනුව 01 දා අළුයම සිට හයිලෙවල් මාර්ගයේ ධාවනය වන බස්රථ බොහෝමයක් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට ඇතුළු වීම හා පිටවීම සිදු කරන අයුරු දක්නට ලැබුණි.
මෙතෙක් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ධාවනය නොවූ ඇඹිලිපිටිය , වැලිමඩ , බදුල්ල , මොණරාගල , රත්නපුර වැනි දුර ගමන් සේවා බස් රථ හා අවිස්සාවේල්ල ඉංගිරිය පාදුක්ක , ඉහල බෝපේ, මොරගහහේන ඇතුළු කෙටි ගමන් සේවා බස් රථ ද පෙර දැනුම් දුන් පරිදි මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ධාවනය කරමින් මගීන් බැස්සවීම සහ පැටවීම සිදු කරන අයුරු දක්නට ලැබුණි.
එහෙත් ඇතැම් පෞද්ගලික බස් රථ සහ ශ්‍රී ලංගම බස් රථ ඉහත උපදෙස් පිළි නොපදිමින් හයිලෙවල් මාර්ගය ඔස්සේ නොනවත්වා ධාවනය කරනු දක්නට ලැබුණි .
එසේම මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිරිපිට හයිලෙවල් මාර්ගයේ කොළඹ දෙසට සහ අවිස්සාවේල්ල දෙසට අවිධිමත් ලෙස මගීන් නැග්ගවීම සහ පැටවීම සඳහා සඳහා පවත්වාගෙන ගිය බස් නැවතුම් පොළවල් එම ස්ථානයෙන් ඉවත් කර ඇති අතර 01 දා අලුයම සිට පොලිස් නිලධාරීන් එම ස්ථානයේ රැඳී සිටිමින් මගීන් සහ බස් රියදුරන් දැනුවත් කරමින් මාර්ග තදබදය අවම කිරීමට පියවර ගනිමින් සිටිනු දක්නට ලැබුණි.
මේ අතර නව ව්‍යාපෘතිය ආරම්භ කිරීම ඉතා හොඳ කටයුත්තක් බවත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය තුළට පැමිණෙන බස්රථ වලට නැගීම සඳහා පර්යන්තය තුළ වෙන් වෙන් වශයෙන් ස්ථාන නම් කර නොතිබීමත් තමන් දැඩි අපහසුතාවයට පත් වන බවත් මගීන් පැවසීය.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න