අනුරාධපුර , ගල්පොත්තේගම, කරුක්කන්කුලම ප්රදේශයේ ඵලදාව නෙලීමට ආසන්න බඩ ඉරිඟු වගාව තුල සීඝ්රයෙන් පැතිරී යන හඳුනා නොගත් දිලීර රෝගයක් හේතුවෙන් මේ වන විට වගා කර ඇති බඩ ඉරිඟු අක්කර 500ක පමණ ප්රමාණයක් විනාශයට පත්ව ඇතැයි ගොවීහු පවසති.
දින කිහිපයක් තුල ශීඝ්රයෙන් පැතිරී යන මෙම දිලීර රෝගය හේතුවෙන් අස්වනු නෙලීමට ආසන්නව පැවති බඩ ඉරිඟු වගාව සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති අතර මේ වන විට විනාශයට පත් බඩ ඉරිඟු වගාවට යාබදව ඇති කරල් පැසෙමින් පවතින අනෙකුත් බඩ ඉරිඟු වගාවන් තුලද මෙම දිලීර රෝගය පැතිර යාම ආරම්භ වී ඇති බවද එම ගොවීන් පවසති.
මෙම දිලීර රෝගයට ගොදුරු වූ, බඩ ඉරිඟු ගස කුණු වීමට ලක්ව, එහි කරල්ද කුණුවී දුගදක් හමන බවත් පසුව එම බඩ ඉරිඟු ගස කරල සමග කදින් බිමට කඩා වැටෙන බව එම ගොවීහු පෙන්වා දුන්හ.
මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කල අතර, මෙම දිලීර රෝගය පිළිබඳව එම නිලධාරීන්ද මෙතෙක් දැනුවත් නොමැති බවද එම ගොවීන් පැවසූහ.
කනකර ඇතුළු දේපල බැංකු වලට උකසට තබා බඩ ඉරිඟු වගවන් සිදු කල බවත් මේ වන විට වගාවට අත්ව ඇති ඉරණම හේතුවෙන් තමන්ට දැඩි අසරණ වී ඇති බව පවසන එම ගොවීහු මේ සම්බන්ධයෙන් සොයා බලා සාධාරණයක් ඉටු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව සඳහන් කලහ.

