සෞඛ්‍යයට අළුතෙන් 1,989 ක් බඳවා ගැනීමට සම්මුඛ පරීක්ෂණ ඇරඹේ
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල සෞඛ්‍ය කාර්ය සහායක (කණිෂ්ඨ) III වන ශ්‍රේණියේ පුරප්පාඩු 1,989 ක් සඳහා බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා තිබූ අතර, ඊට අදාළ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ (Structured Interviews) පළමු අදියර අද (21) කාසල්වීදිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී ආරම්භ කරන ලදි.
සෞඛ්‍ය කාර්ය සහායක (කණිෂ්ඨ) තනතුර සඳහා දැනට පුරප්පාඩු පවතින දිස්ත්‍රික්ක වන කොළඹ, ගම්පහ, මහනුවර, නුවරඑළිය, ගාල්ල, යාපනය, අම්පාර, ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වල පුරප්පාඩු සඳහා මෙම බඳවා ගැනීම් සිදු කෙරෙන අතර, ඉහත තනතුර සඳහා අයදුම්පත් බාර ගන්නා අවසන් දිනය වන විට අයදුම්පත් 92,000 කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත්ව තිබුණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති පරිදි, බස්නාහිර පළාතෙන් සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම් ලත් අයදුම්කරුවන් 2800 ක් අද (21) සහ හෙට (22) මෙම ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ඉහත තනතුරට බඳවා ගැනීමට අදාළව ඉරිදා (24) දින දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දී සහ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ දී ව්‍යුහගත සම්මුඛ පරික්ෂණ පැවැත්වීමට ද නියමිතය.
දීර්ඝ කාලයකට පසු පූර්ණ විනිවිධභාවයකින් යුක්තව සියලු පළාත් නියෝජනය වන පරිදි සම්මුඛ පරීක්ෂණ පවත්වමින් සෞඛ්‍ය කාර්ය සහායක (කණිෂ්ඨ) III වන ශ්‍රේණියේ බඳවා ගැනීම් ක්‍රමවත්ව හා කඩිනමින් සිදු කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ අනුව කටයුතු සැලසුම් කර ඇත.
අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයෙන් දෙවරකට නොවැඩි වාර ගණනකදී සම්මාන (Credit Passes) 02 ක් ඇතුළුව විෂයන් 06 ක් සමත් වී තිබීම, හෝ තනතුරට අදාළ ක්ෂේත්රයක NVQ 3 මට්ටමක වෘත්තීය සුදුසුකමක් ලබා තිබීම, වයස අවුරුදු 18 ට නොඅඩු සහ අවුරුදු 45 ට නොවැඩි වීම සහ ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට සහ රාජකාරි ඉටු කිරීමට ප්‍රමාණවත් ශාරීරික හා මානසික යෝග්‍යතාවයකින් යුත් ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම සම්මුඛ පරික්ෂණ සඳහා මූලික සුදුසුකම් බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබුණි.
සෞඛ්‍ය ක්ෂේත්රයේ ගුණාත්මක සහ කාර්යක්ෂම සේවාවක් පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය කාර්ය සහායක (කණිෂ්ඨ) තනතුර අත්‍යවශ්‍ය සාධකයක් වන අතර, මෙම බඳවා ගැනීම් හේතුවෙන් රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල පවතින සේවක හිඟයට කඩිනම් විසඳුම් මෙන්ම දැනට සිටින කාර්ය මණ්ඩලයේ සේවා බර අවම වීමට ද හේතු වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

