බස්නාහිර පළාතෙන් සොරා ගන්නා යතුරුපැදි ඉතා අඩු මුදලට දකුණු පළාතට විකිණීමේ ජාවාරමක නිරත වූ සංවිධානාත්මක සොර කල්ලි දෙකක සාමාජිකයන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පවසයි.
එම සැකකරුවන් අතර ගරාජ් හිමිකරුවන් දෙදෙනකු සිටින බවත් පොලිසිය කියයි.
සැකකරුවන් සමඟ රුපියල් ලක්ෂ පනහකට අධික වටිනා යතුරු පැදි හතක් පොලිස් බාරයට ගෙන තිබේ
ඉකුත් 06දා සවස පහට පමණ බොරලැස්ගමුව බෙල්ලන්විල ප්රදේශයේ පෞද්ගලික ආයතනයක් ඉදිරිපිට නවතා තිබූ සිවිල් ඉංජිනේරුවරයෙකුට අයත් පල්සර් 150 වර්ගයේ යතුරු පැදියක් සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලක් මත වහා ක්රියාත්මකවූ බොරලැස්ගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පරීක්ෂණ කටයුතු ආරම්භ කර විනාඩි කිහිපයකදී මාර්ගයේ ගමන් ගනිමින් තිබූ සැකකටයුතු යතුරු පැදියක් නවතා පරික්ෂා කිරීමේදී සොරකම් කර ඇති යතුරු පැදියපැදිය බව හඳුනාගැනීමෙන් අනතුරුව සැකකරු හා යතුරුපැදිය පොලිස් ස්ථානය වෙත රැගෙන විත් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී මෙම ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වූ බව පොලිසිය පැවසීය.
මෙවැනිම ආකාරයෙන් සොරකම් කරන ලද තවත් යතුරුපැදියක් මිරිහාන ප්රදේශයේ සැකකරුගේ මිතුරකුගේ නිවසේ සඟවා ඇති බවට අනාවරණය කරගැනීමෙන් අනතුරුව එම යතුරු පැදිය හා නිවසේ අයිතිකරුව අත්අඩංගුවට ගත් බවද පොලීසිය සඳහන් කළේය.
මෙම යතුරුපැදි සොරකම පිළිබඳව දිගින් දිගටම විමර්ශන කටයුතු සිදු කරමින් සිටි පොලිස් නිලධාරීන්ට ලද පෞද්ගලික තොරතුරක් මත බෙල්ලන්විල ප්රදේශයේ සොරකම් කරන ලද යතුරු පැදි වල අමතර කොටස් ගලවන යතුරුපැදි අලුත්වැඩියා කිරීමේ ගරාජයක හිමිකරුවෙකු සොරාගත් යතුරුපැදියක කොටස් ගලවමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
එම සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්රශ්න කිරීමේ දී දකුණු පළාතේ හක්මන හා කිරින්ද ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු විසින් බස්නාහිර පලාත තුල සොරකම් කරන ලද යතුරු පැදි අඩු මුදලට ලබා ගනිමින් එන්ජින් අංක සහ චැසි අංක ඉතා සූක්ෂම ආකාරයෙන් වෙනස් කර වෙනත් යතුරු පැදි වල අමතර කොටස් ගලවා එකලස්කර විකුණන බවට ලද තොරතුරු මත ඔවුන් දෙදෙනාවද අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවටපත් සැකකරුවන් 22,24,27,29, 35,58 වැනි වයස් කාණ්ඩවල පසුවන එප්පාවල, මිරිහාන, බෙල්ලන්විල, හක්මණ, කිරින්ද යන ප්රදේශවල පදිංචිකරුවන් බවත් මින් සැකකරුවන් තිදෙනෙක් දිවයිනේ ප්රසිද්ධ යතුරු පැදි ආනයනය කරනා සමාගමක කාර්මිකයින් ලෙස සේවය කළ කල පුද්ගලයන් බවත් ඕනෑම වර්ගයේ යතුරුපැදියක් මිනිත්තු හතරක් වැනි ඉතා සුළු කෙටි කාලයකදී හැඩලයේ අගුලු විවෘත කර යතුරු පැදියේ එන්ජිම පණගන්වා සොරා ගෙන යා හැකි පළපුරුද්දකින් සමන්විත පුද්ගලයන් බවත් අනාවරණය වූ බවද පොලීසිය පැවසීය.
බොරලැස්ගමු, දෙහිවල, නුගේගොඩ, මොරටුව, ගල්කිස්ස, කොහුවල, යන පොලිස් බල ප්රදේශයන්ගෙන් සොරාගත් යතුරු පැදි හතක් මේ වන විටත් සොයාගෙන ඇති බවත් මෙම යතුරුපැදි උපයෝගී කරගෙන වෙනත් අපරාධ සිදු කර ඇද්දැයි සොයා පුළුල් පරීක්ෂණයක් පවත්වන බවත් පොලීසිය පැවසීය.
අත්අඩංගුවට පත් කිරින්ද ප්රදේශයේ පදිංචිකරු කල්බදු සමාගමක නියෝජිතවරයෙකු වශයෙන් සේවය කරන්නෙක් බවද පොලීසිය පැවසීය.
අත්අඩංගුවට පත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.