හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 416 ක් සහ බෙල්ජියමේ නිශ්පාදිත ඔටෝ රිපීටර් වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගත් බවට චෝදනා එල්ලවී වසර හතරකට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි පුද්ගලයකු නිදොස් කොට නිදහස් කරන ලෙස පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා ඊයේ (08දා) නියම කළේය.
මොරටුව, තුඩුවන්මුල්ල ප්‍රදේශයේ පදිංචි අරඹගේ දොන් ප්‍රසන්න ලක්ෂිත නමැති 45 හැව්රිදි පුද්ගලයකු මෙසේ නිදොස් කොට නිදහස් කෙරිණි.
නිදොස් කොට නිදහස් කෙරුණු සැකකරු, පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙසින් හදුන්වන අරඹගේ දොන් උපාලි රංජිත් නොහොත් සොත්ති උපාලි නැමැත්තාගේ පුත්‍රයා බවද අනාවරණයවේ.
පැමිණිල්ල වෙනුවෙන් සාක්කි කරුවන් දහතුන් දෙනෙකු කැදවා තිබූ නමුත්, පළමු සාක්කිකරු වන පොලිස් පරීක්ෂක සමන් පත්මලාල් මහතගේ සාක්කිය විමසීමෙන් පසුව විනිසුරු වරයා නියෝගය නිකුත් කලේය.
සැකකරු 2019 අප්‍රේල් මස 02 දින මොරටුව තුඩුවන්මුල්ල ප්‍රදේශයේදී හෙරෝයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් තුනහමාරකට ආසන්න ප්‍රමාණයක් සහ බෙල්ජියමේ නිශ්පාදිත ඔටෝ රිපීටර් වර්ගයේ ගිනිඅවියක් සමග වැල්ලවත්ත දිසා දූෂණ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබූ නමුත්, හෙරෝයින් මත්කුඩු වල ශුද්ධ බර ග්‍රෑම් 416 ක් බවට රස පරීක්ෂක වාර්ථාවට අනුව පසුව සනාථවී තිබේ.
මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික සාක්කි ගොනුකිරීමෙන් පසු නීතිපති වරයා විසින් පානදුර මහාධිකරණයේ නඩු පවරා තිබුණි.
විෂ වර්ග අබිං සහ අන්තරාදායක ආඥා පනත සහ තුවක්කු ආඥා පනත යටතේ සැකකරුට එරෙහිව අධිචෝදනා නගා තිබුණි.
සැකකරු අත්අඩංගුවට ගත් දිනට පසුදින විද්‍යුත් මාධ්‍ය මගින් ප්‍රචාරයවූ මාධ්‍ය වාර්තා සහ පළමු සාක්කිකරු විසින් ලබාදුන් සාක්කි පරස්පර බව විත්තිය වෙනුවෙන් පෙනීසිටී නීතිඥ අනෝජ් හෙට්ටිආරච්චි මහතා සදහන් කලේය.
විත්තිය වෙනුවෙන් ජේෂ්ඨ නීතිඥ අනෝජ් හෙට්ටිආරච්චි මහතා සමග නීතිඥ රංග එස් කොබ්බෑවත්ත, සජීව කොඩිතුවක්කු, සුරංග පෙරේරා, හෂාන් දම්පැල්ල සහ නයෝමි සමුදිකා යන මහත්ම මහත්මීන් පෙනී සිටියහ.
පානදුර සුමිත් පොතුපිටිය