සොරකම් කරන ලද යතුරුපැදි දෙකක් සහ අපරාධයට යොදාගත් තවත් යතුරු පැදියක් ද සමග යුද හමුදාවෙන් නිවාඩු මත පැමිණි සෙබලුන් දෙදෙනකු සහ යුද හමුදාවෙන් පළා ආ සෙබළෙක් ඊයේ (01දා) කොළොන්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළොන්න නව නගරයේ පදිංචි තරුණයන් දෙදෙනෙකුට අයත් එකක් රුපියල් ලක්ෂ හත හමාරක් පමණ වටිනා එකම වර්ගයේ යතුරු පැදි දෙකක් මෙසේ සොරකම් කර තිබු බව ද පොලීසිය පැවසුවේය.
සොරකම් කරන ලද එක් යතුරු පැදියක් වැලිමඩ, කැප්පෙටිපොළ ප්‍රදෙශයේ සහ අනෙක් යතුරු පැදිය තිස්සමහාරාම, ලුණගම්වෙහෙර ප්‍රදේශයේ සඟවා තිබීයදී සොයාගත් බව ද කොලොන්න පොලිසිය පැවසුවේය.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය, පනාමුර, හතර කණුව පදිංචි යුද හමුදාවෙන් පළා ආ 27 හැවිරිදි තැනැත්තෙක් සහ මොනරාගල, නක්කල, අමුණුදූව, 21 කණුව ලිපිනයැති සහ පොළොන්නරුව අරලගංවිල උල්පත්වැව ලිපිනයැති විසි දෙහැවිරිදි තරුණයන් දෙදෙනෙක් බව ද පොලීසිය පැවසුවේය. ඔවුන් දෙදෙනා යුද හමුදාවේ සේවය කරන නිවාඩු මත නිවෙස්වලට පැමිණ සිටි පුද්ගලයන් බවට අනාවරණය වී ඇතැයි ද පොලීසයි පැවසුවේය.
සැකකරුවන් සමග අපරාධයට පැමිණි බවට සැකකරන යතුරු පැදියක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හමුදාවෙන් පලා ආ බව කියන සැකපිට අත්අඩංගුවට ගත් පනාමුර ප්‍රදේශයේ පදිංචි තරුණයා උසස් පෙළ විශිෂ්ටව සමත්ව විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියදී පොලිස් සේවයට බැඳිමට සම්මුඛ පරික්ෂණ හතරකට ද ඉදිරිපත්ව පසුව යුද හමුදාවට බැඳී කලක් සේවය කර ඉන් පලා ආ පුද්ගලයෙක් බවට ද තොරතුරු ලැබුණ බව ද පොලීසිය සඳහන් කළේය.
පසුගිය 20දාත් 23දාත් අතර දිනවල කොළොන්න නව නගරයේ විසිහය හැවිරිදි තරුණයෙකුගේ නිවසට පිටස්තරින් තරුණයින් කිහිපදෙනෙක් පැමිණ සිටි බවට පොලීසියට විමර්ශන වලදී හෙළිදරව් වී තිබේ. සන්ධ්‍යා කාලයේ ඔවුන් මත්පැන් සාද පවත්වමින් ගී ගයමින් විනෝද වී ඇති අතර මොවුන් ගම්මිරිස් අස්වනු නෙලීමට පිටස්තරින් ආ පිරිසක් බවට නිවෙස් හිමි තරුණයා ප්‍රදේශවාසීන්ට පවසා ඇති බව ද පොලීසියට තොරතුරු අනාවරණය වී තිබුණි.
පසුගිය 23දා රාත්‍රී යතුරු පැදි දෙක අතුරුදන්වීමත් සමග මෙම ගමමිරිස් කැඩීමට පැමිණි පුද්ගලයන් සම්බන්ධයෙන් මතුවු සැකයක් අනුව කළ විමර්ශන වලදී මෙම අපරාධයේ සුලමුල සහ සොරකම්කළ යතුරු පැදි දෙකත් අපරාධකරුවනුත් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව කොළොන්න පොලිසිය පැවසුවේය.
සැකකරුවන් ගම්මිරිස් කැඩීමට පැමිණි බව පවසමින් රඳවා තබාගෙන සිටි තරුණයා සහ යුද හමුදාවෙන් පලා ආ බව කියන පනාමුර ලිපිනයේ පදිංචි තරුණයා අතර යම් ගනුදෙනුවක් සිදුව ඇති බවට ද පොලිසියට තොරතුරු ලැබී තිබුණි. යුද හමුදාවෙන් පලා ආ තරුණයාගේ දැන හැඳුුනුම්කම මත නිවාඩු ලබා පැමිණි හමුදා සෙබලුන් දෙදෙනා සම්න්ධවී මෙම සොරකම කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය කීවේය.
ඇඹිලිපිටිය වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චාමික වික්‍රමසිංහ, සහකාර පොලිස් අධිකාරී ලසන්ත දඩල්ලගේ යන මහත්වරුන්ගේ උපදෙස් හා කොළොන්න පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජගත් කුමර මහතාගේ මෙහෙයවීම මත පාලන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක මහින්ද, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සිරිල්, සැරයන්වරුන් වන 42887 වීරවර්ධන, 42812 ලියනගේ කොස්තාපල්වරුන් වන 89364 ලක්මාල් සහ 108031 ශෂී යන නිලධාරීහු අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළහ.
අජිත්ලාල් ශාන්තඋදය / කොලොන්න ජේ නානායක්කාර
