සාම සාධක හමුදාවේ රාජකාරි සඳහා මෙරට පාබල හමුදාවේ භටපිරිසක් ලෙබනන් රාජ්‍යයට පිටත් කර හැරීමට ලැබීම තුළින් රටේ පවතින ඩොලර් අර්බුදය විසඳීමට සුළු හෝ සහයක් ලබාදීමට හැකිවීම ශ්‍රී ලංකා යුද හමුදාව ලැබූ භාග්‍යයක් බව ශ්‍රී ලංකා යුද හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය
හෙතෙම මේ බව පැවසුවේ ලෙබනන් රාජ්‍යයේ සාම සාධක හමුදාව සඳහා පිටත්ව යන භටපිරිස් යුද හමුදාපතිවරයාට ආචාර සම්මාන පෙළපාලිය දැක්වීමේ උත්සවයකට ඊයේ (30දා) පනාගොඩ පාබල හමුදා රෙජිමේන්තු පරිශ්‍රයට පැමිණි අවස්ථාවේදීය.
එහිදී තවදුරටත් අදහස් පළ කළ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙසේද කීය.
පාබල හමුදා රෙජිමේන්තුවට අයත් කණ්ඩායමක් පළමුවරට හයිටි රාජ්‍යයේ සාම සාධක හමුදා රාජකාරියට පිටත් ව ගියේ 2004 වසරේදී . එයින් ලෙබනන් රාජ්‍යයේ සාම සාධක හමුදාවට යන දහතුන්වෙනි කණ්ඩායම තමයි අද මෙතන ඉන්නේ. මේ වන විට ලෙබනන් රාජ්‍යයේ රාජකාරි සඳහා සෙබළුන් 1823 ගොස් තිබෙනවා. මම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතයා ලෙස නිව්යෝක් නුවර රාජකාරි කරද්දි තමයි ලෙබනන් රාජ්‍යයට අපේ භට පිරිස් යැවීමට පළමු වරට කටයුතු කළේ .
එය ශ්‍රී ලංකා මාතෘ භූමියට ගෞරවයක් වගේම වර්තමානයේ මෙරට පවතින ඩොලර් අර්බුදයට විසඳුමක් . අපේ නිලධාරීන්ට වැටුප් ලැබෙන්නේ ඇමරිකානු ඩොලර් වලින්. ඒවා ලංකාවට එනකොට මෙරට ඩොලර් හිගයට පිළියමක්. සුළු වශයෙන් හෝ රටේ පවතින ඩොලර් අර්බුදයට විසඳුමක් දෙන්න ලැබීම ශ්‍රී ලංකා හමුදාව ලැබූ භාග්‍යයක්.
මෙවර විශේෂත්වය තියෙන්නේ පළමුවරට පාබල හමුදා රෙජිමේන්තුවට අයත් කාන්තා නිලධාරිනියක් ඇතුළු සෙබළියන් හත් දෙනකු සහභාගි වීමයි. එය පාබල හමුදා රෙජිමේන්තුව ලැබූ භාග්‍යයක් .
අදින් පසුව ඔබ රාජ්‍ය තාන්ත්‍රිකයෙක්. ශ්‍රී ලංකාවත් ලෙබනනයත් අතර සුහදතාවය විශ්වාසය ගොඩ නගාගන්න ඔබේ රාජකාරිය බලපානවා . ඒ නිසා ඔබේ දැනුම අත්දැකීම් හා දක්ෂතා උපරිම ප්‍රයෝජනයට ගනිමින් අවංකව තම රාජකාරිය කරන්න. ඔබේ විනය ගරුක භාවය රාජකාරි ඵලදායිතාව වර්ධනය කරගන්න අවස්ථාව ලැබේවි. දෙරට අතර සුහදතාවය වර්ධනය කර ගැනීමට හැකිවන ලෙස රාජකාරි කරනු ඇතැයි මා විශ්වාස කරනවා යැයි හමුදාපති තව දුරටත් පැවසීය.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න