නිෂ්පාදිත රටක්, දිනයක් සමාගමක්, අඩංගු ද්‍රව්‍ය හෝ කල්ඉකුත් වන දිනයක් සදහන්ව නොමැති මත්වන බවට සැකකරන සුගර් බෝල සහ ලොලිපොප් තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.
පානදුර වලාන ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිට පවත්වාගෙන ගිය වෙළඳසැල වටලා කුඩා බෝතල් හැටක පමණ ඇසුරුම් කර තිබූ සුගර් බෝල 4000 ක් පමණ සහ ලොලිපොප් 55 ක් සොයාගෙන සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.
දරුවන් මෙම සුගර් බෝල සහ ලොලිපොප් වලට ඇබ්බැහි වී ඇති බවට දෙමව්පියන් පිරිසක් කල දැනුම් දීමකට අනුව වැටලීම කර ඇත.
මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙළඳසැලේ සේවය කරමින් සිටි පානදුර සරික්කම්මුල්ල සහ නල්ලුරුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු බව පොලිසිය කීය.
වෙළද සැලේ හිමිකරුවන් තිදෙනෙකු සිටින බවත් අධිකරණයට කරුණු වාර්තා කොට ඔවුනට නොතීසි ලබාගැනීමට නියමිත බවත් උසස් පොලිස් නිලධාරීයෙක් පැවසීය.
මෙම ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂක වෙත යොමුකර වාර්තාවක් ලබාගැනීමට නියමිත බවද පොලිසිය කීය.
සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
සුමිත් පොතුපිටිය / සමන් කාරියවසම් /බිමල් ශ්‍යාමන්

