සිඩ්නි යන්න ගිය ශ්‍රී ලන්කන් යානයට අකුණු පහරක් වදියි
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් 06/12 අලුයම පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයට අකුණු පහරක් වැදීමෙන් , එම ගුවන් යානය , විනාඩි 40 ක ගුවන් ගමනකින් පසුව යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පියවර ගත් බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 606 දරන ගුවන් යානය මුළින්ම 06/12 දින අලුයම 01.00 ට කටුනායක ගුවන් තොටුපොළෙන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා පිටත්ව ගොස් තිබුණි .
එම ගුවන් යානය එයාර් බස් වර්ගයේ ඒ.- 330 වර්ගයේ පුළුල් බද සහිත ගුවන් යානයක් වූ අතර , එහි ගුවන් මගීන් 217 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 16 දෙනෙකු ගමන් ගනිමින් සිටියහ .
ඒ වනවිට ප්‍රදේශයේ පැවති අකුණු ගැසීම් සහිත වැසි තත්වය මත මෙම ගුවන් යානයට ද අකුණු පහරක් එල්ල වීම නිසා , එම ගුවන් යානය සිය ගුවන් ගමන අතහැර ආපසු කටුනායක ගුවන් තොටුපොළ වෙත 06/12 දින අලුයම 01.40 ට ගොඩබැස්සවීමට ගුවන් නියමුවා පියවර ගෙන තිබුණි .
ඉන්පසුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය තවත් වෙනත් , එම වර්ගයේ පුළුල් බද සහිත ඒ.- 330 වර්ගයේ ගුවන් යානයක් යොදවා , එම ගුවන් මගීන් පිරිස රැගෙන , යළිත් 06/12 දින උදෑසන 06.06 ට කටුනායක ගුවන් තොටුපොළෙන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා පිටත් කර යැවූ බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් සදහන් කළේය .
අකුණු පහරට ලක් වූ ගුවන් යානය අලුත්වැඩියා කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ , ශ්‍රී ලන්කන් ගුවන් අංගයන වෙත යොමු කර තිබේ .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

