ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ පරිවාර වනාන්තරයක් ලෙස නම් කිරිමට නිර්දේශ කර ඇති රක්වාන තුනේ කණුව ප්‍රදේශයේ සුළුකන් සහ බෝයින් ප්‍රදේශයේ දැවැන්ත වන සංහාරය සම්බන්ධව ඉක්මනින් නඩු පවරන ලෙස රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දුන්නේය. ඊයේ ( 20දා) රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව විසින් මධ්‍යම පරිසර අධිකාරියට මේ බව දැනුම් දී තිබේ.
ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ පරිවාර වනාන්තරයක් බවට පත් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ව්සින් නිර්දේශ කර ඇති මේ වනාන්තර ඉඩම සුදු පාලකයන්ගේ කාලයේදීවත් විනාශ නොකළ බව ගම්වාසීහු පවසති. ජල උල්පත්වල පෝෂක කලාපයක් ලෙස මෙම වන සංහාරය කරන ප්‍රදේශය සැලකේ. ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු ඉඩම්වල අයිතිය ඇතැයි පවසමින් මෙලෙස වන සංහාරයක යෙදි සිටින බව රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී අනාවරණය විය .
සිංහරාජ වනාන්තරයේ ආරක්ෂාවට දෙල්වල වලංකන්ද රක්ෂිතයට යා කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා ඇති මෙම ඉඩම් ඉතා ඉක්මනින්ම පවරා ගත යුතු බවත්, එසේ නොවුණ හොත් කැලෑව විනාශ වීම වැළැක්විය නොහැකි බවත් ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් ජී.එල්.ඩබ්.ඒ.ප්‍රතිභා මහත්මිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට දැනුම් දී තිබේ .ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනකට අයත් ඉඩම් කට්ටි 21ක් සිංහරාජයේ පරිවාර වනාන්තර ලෙස වන සංරක්ෂණ දේපාර්තමේන්තුවට පවරා ගැනීමට යෝජනා වී ඇතැයි ද ප්‍රාදේශීය ලේකම්වරිය පැවසුවාය .ඉඩම් කට්ටි තුනක් තමාට පැවරී ඇති බලතල අනුව පවරා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇතැයි ද, කැලෑ එලිකිරීම ගැන නීතිමය පියවර ගැනීමේ බලතල ඇත්තේ මධ්‍යම පරිසර අධිකාරියට බැවින් මේ ගැන කිහිප වරක් එම අධිකාරියට දැනුම් දුන් බවද ප්‍රාදේශීය ලේකම්වරිය පැවසුවාය .
පසුගිය මාස කිපයක කාලයේදී අක්කර 15 කට වඩා සූක්ෂ්ම ලෙස කපා එළිපෙහෙළි කර ඇතැයි ද ප්‍රාදේශීය ලේකම්වරිය පැවසුවාය. ඊට පෙර අක්කර 15 ක් එළිපෙහෙළි කර වනය කපා තේ වගාකර ඇතැයි හෙළි වී තිබේ . මෙවැනි සංවේදී පරිසර පද්ධතීන් විනාශ කිරිමට හෝ වගාව සඳහා එළිපෙහෙළි කිරිමට නීතිමය අයිතියක් නැතත් ඉතා රහසිගත ලෙස මෙය සිදු කර වසර 14 ක සිට මෙම වන විනාශය නැවැත්වීමට නීතිමය ක්‍රියා මාර්ග ගෙන නැති බැවින් මධ්‍යම පරිසර අධිකාරිය මේ සම්බන්ධව ඉක්මනින් නඩු පැවරිය යුතු බවට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය කළ බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා පැවසීය .
මෙම ස්ථානයට කෙනෙකුට ළඟාවීමට ඇති දුෂ්කරතා සහ කැලය මැද පිහිටීම ද වාසියට යොදාගෙන කැලෑව කපමින් ඇතැයිද, වනසංහාරය සිදු කරන ඉඩමට විදුලි වැටක් සවිකර ඇතැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රිනී මුදිතා සොයිසා මහත්මිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදී පැවසුවාය.මෙම ප්‍රදේශයේ කැලෑ කැපීම ගැන සොයා බැලීමට ගිය තමාට ඉඩම් හිමියකු තර්ජනය කර ඇතැයි රාජ්‍ය නිලධාරියකු ගොඩකවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට දැනුම් දී තිබේ.
රත්නපුර -ලසන්ත නිරෝෂණ පෙරේරා

