සෑම දිස්ත්‍රික්කයකටම පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයක්
පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය 06 ක් මේවන විට දිවයිනේ ප්‍රධාන රෝහල් ආශ්‍රිතව ක්‍රියාත්මකවන බවත්, ඉදිරියේ දී සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇතිබව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අවධාරණය කරයි.
අමාත්‍යවරයා මේබව අවධාරණය කර සිටියේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහන මගින් ක්‍රියාත්මක කෙරෙන පිළිකා කලින් හඳුනා ගැනීමේ නව මධ්‍යස්ථානය (Cencer Early Detection Center- CEDC) විවෘත කිරීමේ අවස්ථාවට අද දින (09) පෙරවරුවේ එක්වෙමිණි.
එම මධ්‍යස්ථානය කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශ පරිශ්‍රයේ ස්ථාපිත බෝවන රෝග සායන ගොඩනැගිල්ලේ පළමු මහලේ දී ස්ථාපිත කෙරිණි.
පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයෙන් ප්‍රධාන වශයෙන්ම පියයුරු පිළිකා, ගැබ්ගෙල පිළිකා සහ මුඛ පිළිකා හදුනා ගැනීම සිදුකරනු ලබන අතර මෙහි දී හදුනා ගන්නා ලබන පුද්ගලයින් කඩිනම් ඉදිරි ප්‍රතිකාර කටයුතු සදහා විශේෂඥ වෛද්‍ය සායනවලට යොමු කරනු ලබයි.
2004 වර්ෂයේ දී මෙම මධ්‍යස්ථානය රොටරි සමාජයේ හවුකාරීත්වයෙන් නාරාහේන්පිට ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද අතර ගෙවී ගිය වසර 22 කාළය තුලදී ලක්ෂයකට ආසන්න පිරිසක් පරීක්ෂාවට ලක්කර අවශ්‍ය පුද්ගලයන් ඉදිරි ප්‍රතිකාර කටයුතු සදහා යොමුකර ඇත. පසුගිය වර්ෂයේ දී පමණක් මෙම මධ්‍යස්ථානය මගින් නව පිළිකා රෝගීන් 104 ක් හදුනාගෙන ඉදිරි ප්‍රතිකාර සදහා යොමුකිරීමට ද පියවර ඇත.
අතිනවීන වෛද්‍ය උපකරණ පහසුකම් වලින් මෙම පිළිකා කල් ඇතිව හඳුනාගැනීමේ මධ්‍යස්ථානය රජයේ නිවාඩු දින හැර සතියේ දිනවල පෙ.ව. 8.30 සිට ප.ව 3.00 දක්වා විවෘතව පවතී.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් නවීන පහසුකම්වලින් සමන්විතව එම මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට සැලසුම්කර ඇති බවත්, දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙලේ පවතින අඩුපාඩු ද හදුනා ගනිමින් ඊට කඩිනම් විසදුම් ද ලබා දෙමින් නව්‍ය විධිමත්,කඩිනම් වැඩපිළිවෙළක් ලෙස එය ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බව ද පැවසීය.
අද දින ආරම්භ කළ මෙම මධ්‍යස්ථානය මෙරට සෞඛ්‍ය සේවාවේ පිළිකා රෝග ප්‍රතිකාර අංශයේ ප්‍රධාන සංදිස්ථානයක් ලෙස පෙන්වා දිය හැකි බවත්, පිළිකා රෝගී තත්ත්වයන් අද වන විට මෙරට ප්‍රධාන සෞඛ්‍ය ගැටළුවක් බවට පත් වී ඇති බව ද පැවැසිය.
රෝග කාණ්ඩ වලට යන වියදම දෙස බැලූ විට පිළිකා රෝගී ප්‍රතිකාර සඳහා රජයට විශාල මුදලක් වැය කිරිමට සිදුව ඇති බවත්, ඊට හේතුව ලෙස නව පිළිකා රෝගීන් 100 වැනි ප්‍රමාණයක් දෛනිකව වාර්තා වීමත්, වාර්තාවන රෝගීන් ප්‍රමාණය දිනෙන් දින ඉහළ යාමත් පෙන්වා දිය හැකි බව ද සදහන් කර සිටියේය.
පිළිකා රෝගීන් ලෙස හදුනා ගන්නා රෝගීන් පසු රෝගී අවධින් තුල හමුවන බවත්, ඒ හේතුවෙන් ප්‍රතිකාර විධි කිහිපයක් ලබාදීමට සිදුව ඇති බව ද, එමෙන්ම දිනකට 40 කට පමණ ජිවිත අහිමිවීමේ තත්ත්වයකට ද පත්ව ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දෙන ලදී.
ඉහත කරුණු දෙස අවධානය යොමු කිරීමේ දී පිළිකා රෝග වළක්වා ගැනිම පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා ඊට බොහෝ සංවිධාන, ආයතන සහ පුද්ගලයින්ගේ දායකත්වය අත්‍යාවශ්‍ය වනබව ද පෙන්වා දෙන ලදි.
පිළිකා රෝග වැළැක්වීම සඳහා ගෙනයන වැඩපිළිවෙලේ දී ආහාර සම්බන්ධව යම් සුරක්ෂිතාවයක් ඇති කිරිම සම්බන්ධව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බවත්, අන්තර් අමාත්‍යාංශ මට්ටමින් මෙම ගැටළුවට විසදුම් සෙවිය යුතු බව ද පරිසර සාධක, කෘෂි රසායන භාවිතය යන කරුණූ පිළිබඳව අවධානය යොමු කරන බව ද අවධාරණය කරන ලදි.
පිළිකාව මුල් අවස්ථාවේදීම තහවුරු කර ගැනිමට අවශ්‍ය උපකරණ සහ පහසුකම් ලබාදීම රජයේ වගකීමක් සේ සළකා කටයුතු කරන බවත්, එම වැඩපිළිවෙලට රොටරි සාමාජය දක්වන දායකත්වය පිළිබඳ සිය ස්තූතිය පුද කරන බව ද අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් පැවැසීය.
අද දින නව පරිශ්රයක ස්ථාපිත මෙම පිළිකා කල් ඇතිව හඳුනාගැනීමේ මධ්‍යස්ථානය ප්‍රධාන මධ්‍යස්ථානයවන අතර මීට අමතරව යාපනය, මඩකලපුව, බදුල්ල, රත්නපුර සහ මාතර යන දිස්ත්‍රික්කවල ප්‍රධාන රෝහල් ආශ්‍රිතව මෙවැනි මධ්‍යස්ථාන විට ක්‍රියාත්මක වේ.
මුඛ පිළිකාව ශ්‍රී ලංකාවේ පිරිමින් අතර බහුලම පිළිකාව වේ. බුලත්විට, දුම්කොළ සහ පුවක් හැපීම මුඛ පිළිකා ඇතිවීමට ප්‍රධානම හේතුවක් බවත්, දිනකට මුඛ පිළිකා රෝගීන් දසදෙනෙකු හදුනා ගැනෙන බවත්, දිනකට මුඛ පිළිකා රෝගීන් තිදෙනෙකුට ජීවිත අහිමිවන බවත් ජාතික පිලිකා මර්දන වැඩසටහන පෙන්වා දෙයි. කලින් හදුනා ගැනීමෙන් මුඛ පිළිකාව සුවකළ හැක. කල් පවතින සුදුලප, කල්පවතින රතුලප, කල්පවතින සුදු හා රතු ලප, මුඛයේ දැවිල්ල, ශ්ලේෂ්මල පටල තුනී වීම හා ඝන වීම පූර්ව මුඛ පිළිකා ලක්ෂණ බව ද එම වැඩසටහන පෙන්වා දෙයි.
ගැබ්ගෙල පිළිකාව කාන්තාවන් අතර සුලබ පිළිකාවකි. HPV එන්නත්කරණය, විශ්වාසවන්ත එක් ලිංගික සහකරුවෙක් පමණක් ඇසුරු කිරීම, ආරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීම, දුම්බීමෙන් වැළකීම, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට යොමුවීම මගින් ගැබ්ගෙල පිළිකාව වළක්වාගත හැකි බව ජාතික පිලිකා මර්දන වැඩසටහන පෙන්වා දෙයි. වයස අවුරුදු 35 සහ 45 වයස් කාණ්ඩවල කාන්තාවක් නම් මෙම මධ්‍යස්ථානයකින් හෝ අදාළ තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය මගින් පවත්වන සුවනාරී පැප් පරීක්ෂාව සිදුකර ගත හැකි බව ද එම වැඩසටහන සදහන් කරයි.
මෙරට සෑම දිනකම කාන්තාවන් 15ක් පියයුරු පිළිකාවට ගොදුරුවන අතර දිනකට තිදෙනෙක් මියයන බවත්, මුල් අවධියේ දී හදුනා ගැනීමෙන් පියයුරු පිළිකා සම්පූර්ණයෙන් සුවකල හැකි බවත් ජාතික පිලිකා මර්දන වැඩසටහන පෙන්වා දෙයි. වයස අවුරුදු 20 න් පසුව සෑම මසකම ස්වයං පියයුරු පරීක්ෂාවක් කර ගන්නා ලෙසද, වයස අවුරුදු 20-40 අතර වයසේ පසුවන කෙනෙක් නම් වසර 3 කට වරක්ද, අවුරුදු 40 කට වැඩිනම් වර්ෂයකට වරක් සායනික පියයුරු පරීක්ෂාවකට යොමු වන ලෙසද එම වැඩසටහන මහජනතාවට දන්වා සිටි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
