මිහින්තලේ කනදරාව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කැබිතිගොල්ලෑව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අද (3 දා) අළුයම ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කැබිතිගොල්ලෑව පොලිස් කොට්ඨාශයට අනියුක්තව සේවය කල, මිහින්තලේ, නාමල්වැව පදිංචිව සිටි බී. සුනිල් චන්ද්‍රසිරි නැමැති 58 හැවිරිදි පොලිස් පරීක්ෂකවරයෙකි.
ජීවිතක්ෂයට පත්වූ ඒ මහතා, මීට පෙර කල්ලංචිය පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස සහ අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කල අයෙකි.
පසුගිය ඔක්තෝම්බර් 08 වන දින උදෑසන 07.30ට පමණ , අනුරාධපුර,ත්‍රිකුණාමලය ඒ 12 මාර්ගයේ, වේලංකුලම හංදිය අසලදි, මිහින්තලේ දෙස සිට සීප්පුකුලම දෙසට ධාවනය වෙමින් තිබු වැගන්ආර් වර්ගයේ කාර් රථයක් සහ එම දිශාවටම ගමන් කල යතුරු පැදියක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව තිබූ බව පොලිසිය කියයි.
එම අනතුරින් බර පතල තුවාල ලැබූ යතුරු පැදියේ පැදි කරු වන, පොලිස් පරීක්ෂකවරයා ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී අද (3) අලුයම 2.55ට පමණ ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
එම අනතුර සම්බන්ධ කාර් රථයේපැදි කාරිය වන අඹන්පොල පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරි කරනු ලැබූ කාන්තා පොලිස් සැරයන්වරියක් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
මෙම අනතුර සම්බන්ධයෙන් මිහින්තලය පොලිසියේ රථ වාහන අංශයේ නිළධාරීහු පිරිසක් වැඩි දුර විමර්ශන සිදු කරති.
