එරාවූර් පොලිස් භෝජනාගාරයේදී පොලිස් සැරයන්වරයෙකුට පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. එම භෝජනාගාරයේ පාලක වශයෙන් කටයුතු කරන කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව එරාවුර් පොලිසිය පවසයි.
කොස්තාපල්වරයාගේ පහර කෑමට ලක් වූ සැරයන්වරයා එරාවුර් මූලික රෝහලට ඇතුළත කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.
පොලිස් භෝජනාගාරය තුළදී පෙරේදා (15) දහවල් කිසියම් ගැටලුවක් මුල්කරගෙන දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුව ඇති බවත්, එම බහින්බස්වීම දුරදිග යාමෙන් සැකකාර කොස්තාපල් මෙම පහරදීම සිදුකර ඇති බවට සැරයන්වරයා පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
පහර දුන් බව කියන කොස්තාපල්වරයාද වෙංකල්ලඩි රෝහලට ඇතුළත්ව ප්රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. එරාවුර් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.