අහසින් වැටෙන එකඳු දිය බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන සයුරට යා නොදීමේ පැරකුම් සංකල්පය මේ මහ පොළව තුළ පැල කර, ආහාර නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දී ස්වයංපෝෂිත ගම්මාන රට පුරා ඇති කිරීම අපගේ වගකීම බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ උතුර, නැගෙනහිර, උතුරු මැද, වයඹ, මධ්‍යම, ඌව සහ දකුණු යන පළාත් 7ක, දිස්ත්‍රික්ක 15ක, පානීය ජල අපහසුතා පවතින ප්‍රදේශයන්හි පළාත් පාලන ආයතන සඳහා රුපියල් මිලියන 490 ක වියදමක් දරා පානීය ජල බවුසර් රථ 35 ක් බෙදා දීමේ අවස්ථාවට කොළඹ ශ්‍රී ලංකා පරිපාලන ආයතනයේදී අද (25දා) එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,
අපේ ශිෂ්ටාචාරය ජලය මත ගොඩනැගුනු එකක්. පැරකුම්බා රජුගේ වචනය වන, මහපොළවට වැටෙන කිසිඳු ජල බිංදුවක් ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලායාමට ඉඩ නොදිය යුතුයි. ඒ නිසා අපට විශාල අභියෝගයක් තිබෙනවා, ආහාර නිෂ්පාදනයට, කෘෂිකාර්මික වගාවට ප්‍රමුඛත්වය ලබා දී ස්වයංපෝෂිත ගම්මාන රටපුරා ඇතිකිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට.
ඈත එපිට ප්‍රදේශ වල පානීය ජලය ලබා ගැනීම දුෂ්කර පළාත් පාලන ආයතන සඳහා මෙම වැඩසටහන මගින් ජල බවුසර රථ ලබා දීමට අපි තීරණය කළා. ඒ වාගේම පානීය ජලය රැගෙන යන මේ ජල බවුසරය අදාළ පළාත් පාලන ප්‍රදේශයෙන් පිටතට හදිසි අවස්ථාවට රැගෙන යන පරාර්ථකාමී හැඟීමද ක්‍රියාවට නැංවිය යුතුයි. නවීන උපකරණවලින් සමන්විත බවුසර රුපියල් මිලියන 500 න් එහාට ගිය සම්පත් ජාලාවක්. එම සම්පත් නඩත්තු කර, ආරක්ෂා කර, ජනතාව වෙනුවෙන් සේවයට යොදවන ලෙස සියලු පළාත් පාලන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටිනවා .ජනතාවගේ පානීය ජල ගැටළුවට විසඳුම් ලබා දීමට පසුගිය රජයන් විවිධ ව්‍යාපෘතින් හඳුනාගෙන ආරම්භ කළත් ඒ සමහර ව්‍යාපෘතීන් අතරමග නැවතී තිබෙනවා.අපි රජයක් ලෙස මේ වන විට අවධානය යොමු කර තිබෙනවා, මේ අතරමග නැවතී ඇති එම ව්‍යාපෘති යළි සක්‍රීය කොට වැඩ අවසන් කිරීමට.

