සේවා ස්ථානය මාරු කර හැරීමට ජාතික පොලිස් කොමිසම ගත් තීරණය බල රහිත කරන්නැයි ඉල්ලමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නිෂ්ප්‍රභ කළේය.
පෙත්සම්කාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සමග තවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු හයදෙනෙකුගේ සේවා ස්ථාන මාරු කළත් ඔවුන් කිසිවෙකුත් එම ස්ථාන මාරුවීම අභියෝගයට ලක් කර නැතැයි පෙන්වා දෙමින් වගඋත්තරකාර පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ගංගා වාකිෂ්ඨ ආරච්චි මහත්මිය ඉදිරිපත් කළ කරුණු පිළිගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස තීරණය කළේය.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ තමන් නැගෙනහිර පළාතට මාරූ කිරීම අභියෝගයට ලක් කරමින් අජිත් රෝහණ මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස තීරණය කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල එලෙස තීරණය කළේය.
පෙත්සම්කාර අජිත් රෝහණ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා කරුණු දක්වමින් තමසේවාදායකයා ස්ථාන මාරුකර යැවීමට ජාතික පොලිස් කොමිසම ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් එලෙස ස්ථාන මාරූ කිරීමට හේතු වූ කරුණු ඉදිරිපත් කිරීමට වග උත්තරකරුවන් කටයුතු කර නැතැයිද ඉන් ස්ථාන මාරුව තුළ පවතින අත්තනෝමතික ස්වරූපය මනාව පැහැදිළි වන බවත් කී ජනාධිපති නීතිඥවරයා තමසේවාදායකයාගේ සේවා ස්ථානය මාරු කර හැරීමට ජාතික පොලිස් කොමිසම ගත් තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා සිටියේය.
වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ගංගා වාකිෂ්ඨආරච්චි මහත්මිය කරුණු දක්වමින් පෙත්සම්කරුගේ සෙවා ස්ථාන මාරුව නීත්‍යානුකූල ලෙස කොට ඇතැයිද පෙත්සම්කරු සමග තවත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු හයදෙනෙකුගේ සේවා ස්ථාන මාරු කර හැරීමට කටයුතු කළත් ඔවුන් කිසිවෙකුත් එම ස්ථාන මාරුවීම අභියෝගයට ලක් කර නැතැයි කීවාය.
පෙත්සම්කරුගේ සේවා ස්ථාන මාරුව නව ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයින් විසින්ද ඒකමතිකව අනුමත කර ඇතැයි පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලා සිටියාය.
දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළේය.