ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස කළ ඉල්ලීම පරිදි මෙම මස 23 දින සර්ව පාක්ෂික සමූළුවක් කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් වත්මන් රටේ ගැටළුවලට විසඳුම් ලබා දීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් පවත්වන ලෙස ඉල්ලීමක් කළා. එම ඉල්ලීම පරිදි අප රටේ සියලු පක්ෂවලින් සමන්විත සර්වපාක්ෂික සමුළුවක් පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. එම සර්වපාක්ෂික සමුළුව මෙම මස 23 දින පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අපිට දැනගන්නට ලැබුණා. ඒ සම්බන්ධව මම ජනාධිපතිතුමාට කෘතඥතාවය පළ කරනවා” යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද දින (09) පරිසර අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
“අපි ජනාධීපතිතුමා සමග කළ සාකච්ඡාවේ දී යෝජනා 15ක් ඉදිරිපත් කළා. ඒ එක යෝජනාවක්වත් අපේ පක්ෂය ගොඩනැගීම හෝ අපිට වරප්‍රසාද ලබා ගැනීමට ඉදිරිපත් කළ ඒවා නොවෙයි. අපි යෝජනා කළේ රටට හා මහජනතාවට බලපා ඇති ප්‍රශ්න සම්බන්ධව විසඳුම් ලබා දීම කඩිනම් කිරීමේ වැඩ පිළිවෙළක්. මෙම වැඩ පිළිවෙළ තුළ ගැටළු පමණක් නොවෙයි ඊට විසඳුම් ලබා දෙන ආකාරයත් අපි යෝජනා කළා.
අපේ යෝජනාවලිය සම්බන්ධව ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත්, මුදල් අමාත්‍යතුමාත් ඉතාමත් සතුටට පත් වුනා.
ඒ වගේම තමයි හැම පක්ෂයකටම රටේ ඇති ප්‍රශ්නවලට විසඳුම් ඉදිරිපත් කිරීමේ වගකීමක් තිබෙනවා. ඒ අනුව මෙම සර්වපාක්ෂික සමුළුවේ දී ඒ හැම කෙනෙකුටම තමන් හෝ තම පක්ෂයේ අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැකියි.
අද රටේ තිබෙන මුලික ප්‍රශ්න දෙස බලන විට ගෑස්, ඉන්ධන හා විදුලි බලය පිළිබඳ ගැටළුව මහජනතාවට දැඩිව බලපා තිබෙනවා. ඒ සම්බන්ධව විසඳුම් රජය විසින් ලබා දිය යුතුයි. සර්වපාක්ෂික සමුළුවේ දී ඉදිරිපත් වන කරුණු පිළිබඳව රජයට නොසළකා හැර සිටිය නොහැකියි. එහෙම වුනොත් එහි ප්‍රතිපලයත් ඒ වගේම වේවි.”