සියලු දේශපාලන පක්ෂ එක්කර ගනිමින් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා රට මුහුණපා ඇති සමාජ, ආර්ථික හා දේශපාලන අභියෝග ජය ගැනීම සඳහා නව මාවතක ගමන් කිරීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රට ගොඩනැගීම සඳහා ක්‍රියාත්මක කරන එම වැඩපිළිවෙලේදී මහා සංඝරත්නයේ අවවාද, අනුශාසනා නොමදව අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේ අද (30) පස්වරුවේ මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි ප්රමුඛ මහා සංඝරත්නය බැහැ දකිමිනි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (30) මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්, අනුනායක හිමිවරුන් ප්රමුඛ කාරක සංඝ සභික මහා සංඝරත්නය බැහැ දැක ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු සාම්ප්‍රදායානුකූලව ආශිර්වාද ලබා ගත්තේය.
මල්වතු මහා විහාරයීය උපෝසථාගාරය වෙත රැස්ව සිටී මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමිපාණන් ප්රමුඛ අනුනායක හිමිවරුන් සහ කාරක සංඝ සභික භික්ෂුන් වහන්සේ ආගමික වතාවත් සිදු කරමින් ජනාධිපතිතුමාට ආශිර්වාද පළ කළහ.
අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අස්ගිරි මහා විහාරයීය මංගල උපෝසථාගාරය වෙත රැස්ව සිටී අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමිපාණන්, අනුනායක හිමිවරුන් ප්රමුඛ කාරක සංඝ සභික භික්ෂුන් වහන්සේ සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද කළහ.
මල්වතු මහා විහාරයීය උපෝසථාගාරයේ දී සංවිධානය කර තිබූ ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කිරීමේ විශේෂ උත්සව අවස්ථාවේ දී කෙටි අනුශාසනාවක් කරමින් මල්වතු මහා විහාරයීය කාරක සංඝ සභික රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය මහවෙල රතනපාල හිමිපාණන් වහන්සේ සඳහන් කළේ ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කර රට සංවර්ධනය කරා ගෙන යාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශක්තිය ඇති බවයි.
මල්වතු මහා විහාරයීය උපෝසථාගාරයේ දී පැවතී උත්සවයේදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙසේ ද පැවසීය,
"ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු සාම්ප්‍රදායානුකූලව මා විසින් ඉටුකළ යුතු යුතුකම් දෙකක් තිබුණා. පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කිරීම. ඊට පෙර සම්ප්රදායක් ලෙස මල්වතු - අස්ගිරි මහා විහාරවලින් ආරම්භ කරලා, අනිත් විහාරස්ථානවලත් මහා නායක ස්වාමීන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගැනීම.
ඔබ වහන්සේගෙන් ලැබුණු ආශිර්වාදයට, ලැබුණු ශක්තියට මම විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා. මේ කාලය තුළදී ඔබවහන්සේලා මට දැක්වූ ඒ සහයෝගය මගේ වැඩකටයුතු වලට ශක්තියක් වුණා.
මම පළමුව අග්‍රාමාත්‍ය ධූරය භාරගත්තේ රටත්, රටේ ආර්ථිකය විනාශ වෙන තැනට පත්වෙමින් තිබුණ නිසයි. රටක් වශයෙන් අද අපි හුගාක් අමාරු තැනක ඉන්නේ. මේ අවුරුද්දේ රටේ ආර්ථිකය තවත් පහත වැටෙනවා.
ජාත්‍යන්තර සංවිධානවල සහයෝගය ලබාගෙන මම ක්‍රියා කරන්නේ මේ ආර්ථිකය යළි ස්ථාවර කරලා 2023, 2024 වන විට රට සංවර්ධනය කරන්න පුළුවන් වෙන විදියට ආර්ථිකය හදන්න. ඒක අසීරු කාර්යයක්. ඒත් එය නොකළහොත් ඊට වඩා අමාරු වෙනවා. බෙහෙත් දීලා ලෙඩා සුව කරන්න උත්සාහ කරනවද, බෙහෙත් නොදී ලෙඩා මැරෙන්න ඉඩ දෙනවද කියා බැලිය යුතුයි.
අද මේ ප්‍රශ්න එක්කම ව්‍යවස්ථාවේ ප්‍රතිසංස්කරණ ගනණාවක් පිළිබද ඉල්ලීම් ආවා. දේශපාලනඥයෝ එය පිළිගන්න ඕන. ඒ ප්‍රතිසංස්කරණ තුළින් ආවේ විවිධ බලවේග. හොද, ශක්තිමත්, ගුණ දහම් තියෙන බලවේග. ඒ වගේම රටක් විනාශ කරන්න පුළුවන් බලවේග . ඒ සියල්ල මැදින් ඇවිල්ලා දැන් මම ජනාධිපතිකම භාරගෙන තියෙනවා.
ඔබවහන්සේලාත් දේශනා කරපු හැටියට අපි ඉන්නේ හුගාක් අමාරු තැනක. ආර්ථික ප්‍රශ්න තියෙනවා. දේශපාලන ප්‍රශ්න තියෙනවා. මහානායක ස්වාමීන් වහන්සේලා යොමු කළ උපදෙස් මාලාව මම කියෙව්වා. එහි හොඳ කරුණු ගනණාවක් තියෙනවා. ජනාධිපති හැටියට මම අලුත් මාවතක යන්න ඕන. මම කැමතියි පක්ෂ සියල්ලම එකතු කරගෙන ඒ ගමන යන්න.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කරන්න. ඒකට ක්‍රම දෙකක් තියෙනවා. එකක් 19 වැනි සංශෝධනය ඉදිරිපත් කරන්න ඕන. හැමකෙනාම කැමති විදියට සංශෝධනය කරන්න ඕන. එතැනින් අපිට පුළුවන් ජාතික ආණ්ඩුව ඉස්සරහට ගෙනියන්න. දෙවනුව පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කොමිසම පත් කරලා එතනිනුත් සහභාගී වෙන්න අවස්ථාව දිය හැකියි. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යෝජනා කරපු ජාතික සභාව ප්‍රතිපත්තිය භාර අරගෙන තිබෙනවා.
ඒ සමගම විද්වතුන් කොහොමද මේක සංවිධානය කරන්නේ, ප්‍රතිසංස්කරණ පිළිබඳ ඒ අදහස් ලබාගන්නේ, ඒ සියල්ලම කෙරෙනවා. මේවා අපිට වැදගත් කරුණු. ඒ නිසා මම පක්ෂ නායකයින් සියලු දෙනාට දැනුම් දුන්නා සර්ව පාක්ෂික ආණ්ඩුවක් නැත්නම් පක්ෂ සියල්ල එකතු වෙලා පාර්ලිමේන්තුව ආණ්ඩුවක් බවට පත් කරගෙන වැඩ කටයුතු කරන්න.
එහිදී ඔබවහන්සේලාගේ අවවාද අනුශාසනා, ප්‍රතිපත්තිය අනුවයි මම ක්‍රියා කරන්නේ, ඒ සඳහා මහානායක හිමිපාණන් වහන්සේ අතුලු කාරක සංඝ සභාවේ සහයෝගයත්, ජනතාවගේ සහයෝගයත් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.
මේ උදා වී තිබෙන්නේ අන්තිම අවස්ථාව. අපි සියලුදෙනා එකතු වෙලා මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඕන. අඩු ගානේ පොදු අවම වැඩසටහනක් ඇති කරගන්න ඕන. ඒ වැඩකටයුතු කිරීම තමයි අපිට තියෙන මූලික කාර්යය. ඒක කරන ගමන් අපේ බුදු දහම ආරක්ෂා කරන වැඩකටයුතුත් අපි අමතක කරන්නේ නෑ. ලිච්ඡවී රජ දරුවන්ට දුන්න උපදෙස් අපි අද පිළිපදිනවනම් මේ රට දියුණු රටක් බවට පත් කරන්න පුළුවන්. ඒකෙන් තමයි අපේ අනාගතය රැඳෙන්නේ. විශේෂයෙන්ම ඔබ වහන්සේලාට මම ස්තූති කරනවා."
