සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ සහයෝගය හිමිවන නමුත් ඒ සඳහා පත් කරන කැබිනට් මණ්ඩලය සුළු පිරිසක් වීම සහ දූෂණ වංචා චෝදනා නොමැති පිරිසක් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් යාසිරි ජයසේකර මහතා මහනුවරදී පැවසීය.
ඒ මහතා මේ බව පැවැසුවේ ඊයේ (13) පෙරවරුවේ මහනුවරට පැමිණ ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි .
“රට ආර්ථික වශයෙන් ස්ථාවර කිරීමට නම් දේශපාලනික ස්ථාවරත්වය ඉතා වැදගත්. ඒ සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවකට පූර්ණ සහයෝගය ලබා දෙන නමුත් අමාත්‍යධුර ඉල්ලා සිටීමක් මේ දක්වා සිදුකර නැහැ .
වසර ගණනාවක් අලාභ ලබන රජයේ ආයතනවල පාඩුව මහජනයා මත පැටවීම වෙනුවට අලාභ අවම කිරීමට රජය සැලසුම් සකස් කොට තිබෙනවා.
විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ආදිය අලාභ ලබන තත්ත්වයක් මත වසර තුනකට වරක් සේවක වැටුප් ඉහළ නැංවීම නිසා රටේ පොදු ජනතාවට එම බර දැරීමට සිදුව තිබෙනවා.එම ආයතන ක්‍රමවත් පරිපාලනයකට නතු කළ යුතුව තිබෙනවා .
ජාතික සභාවක් ස්ථාපිත කොට සියලු පක්ෂ නායකයන්ගෙන් සමන්විත ආර්ථික වැඩපිළිවෙලක් සකස් කිරීම මෙරට ආර්ථික අභිවෘද්ධියට වැදගත්”
ෂේන් සෙනෙවිරත්න