සමගි ජන බලවේගයේ රජයක් යටතේ ජනාධිපති ජනාධිපති ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාම අලුයම 4 සිට රාත්‍රී 12 දක්වා කැපවීමෙන් යුතුව කටයුතු කළ යුතු බවත් රට ශක්තිමත් කොට, බංකොලොත් බවින් මුදා ගනිමින් ලක්ෂ 220 ක් වන රටේ ජනතාව දිනවීමට පියවර ගන්නා බවත් සමගි ජනබල වේගය නායක, විපක්ෂ නායක සජිත් පේමදාස මහතා ගම්පහදී පැවසීය.
සමගි ජනබල වේගය ගම්පහ ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ සංවිධානත්වයෙන් පැවති ගම්පහ ආසන බල මණ්ඩල රැස්වීමේදී හෙතෙම මේ බව සඳහන් කළේය.
" බොහොම පැහැදිලිව අපි දකින්නට ඕන එක දෙයක්. මේ සමගි ජනබල වේගය කියන්නෙ මේ තාවකාලිකව අටවාගත්ත දේශපාන පක්ෂයක් නොවෙයි. මටත් ලොකු අමාරුවක් තිබුන මගේ පියා හිටපු පක්ෂයෙන් එළියට එන්න. ඒක ලේසි පහසු තීන්දුවක් නෙවෙයි. නමුත් හැම කාරණයක් දිහාම බලල සමබරව හිතල අපි හිතුව එක්සත් ජාතික පක්ෂයත් එක්ක ගමනක් නැතෙයි කියල. දැන් ඒක ඔප්පුවෙලා තිබෙනව.
ලැජ්ජා නැතුව අලියයි, පොහොට්ටුවයි විවාහ වෙලානෙ. මොන ලැජ්ජා නැති දෙයක් ? හැබැයි ඒකෙන් එක දෙයක් සිතා ගන්න. මේක මේ අද ඊයේ ඩීල් එකක් නෙවෙයි. මේක පරම්පරා ගත ඩීල් එකක්. මට හිතෙනව රාජපක්ෂ, පොහොට්ටු හොඬවැල නැති අලි කියා කියන්න වෙනව. හොඬවැල නැති අලියෙක්ට පරම්පරා ගණනාවක්, ආත්ම ගණනක් ක්‍රියාත්මකවූ ඩීල් එකක්. මෙදා පාර 134 ක් යොමු කරල ඡන්දයෙන් , ආසන බින්දුවයි, එහෙම ජනාධිපතිවරයෙක් රටේ බිහි උනා.
2019 දී අපි කතා කරනවිට විවිධ අය විවිධ මත පළ කළා. අවුරුදු දෙක තුනක්වත් ගියෙ නැහැ, රට බංකොලොත් උනා. අර කියපු අයට සිදුවන දේ මොනවාද වෙන්නෙ කියල හොදට අවදිවෙලා, ඇස් ඇරගෙන සවන්දීල බලාගෙන ඉන්න. එකක් මතක තියාගන්න. ඔය කවුරුත් මොනම දේකදි ඕනෑවට වැඩිය උඩ පැන්නොත් මොකද වෙන්නෙ. බිම වැටෙනව විතරක් නෙවෙයි, හොම්බත් ඇනගන්නව මහ පොළොවෙ.
එක්සත් ජාතික පක්ෂයෙ ඉන්නකොටත් හොදට පැය 24 ම නිදාගෙන එක දාගන්න හදන සංස්කෘතියක් තිබුන. මේ පක්ෂයේ එහෙම බැහැ. මහන්සිවෙලා වැඩ කරන්න ඕනෙ.අලස වෙන්නට බැහැ. අපි මේ පක්ෂය තුල කිසිම කොට්ඨාසයක් කොන් කරනෙ නැහැ. පසුගිය දවස්වල පුවත්පත්වල දැක්ක එක එක කරුණු යනව. අපේ පක්ෂයේ රිපෝටර්ල නැහැ.
මහින්ද රාජපක්ෂ මහත්තයනෙ හොදම රිපෝටර්. හැබැයි කවුරුහරි රිපෝටර්ල වෙන්න හැදුවොත් ඒ අයට අත්වෙන ඉරණම බලාගන්න පුලුවන් ආණ්ඩුවක් ආවම. හොදට මතක තියාගන්න අපි දැඩි විනයකින් යුක්තව කටයුතු කරන්නට ඕන. ඒක මම තරයේ ප්‍රකාශ කරනව. කණ්ඩායම් හැඟීමක් අපි ඉදිරියට යන්නට ඕන. තුන්සිය හැටපස් දවසෙම අපි ඇප කැප වෙලා ඉන්නව මේ රට ගොඩ ගැනීමට. කණ්ඩායම් හැඟීමකින් ඉදිරියට යන ගමනෙදි මම පොරොන්දු වෙනව මට ලොකු විශ්වාසයක් තියනව අපේ ගම්පහ සංවිධායකවරු , දිස්ත්‍රික් සංවිධායකවරු, සහාය සංවිධායකවරුන්ට විමධ්‍යගත මුදලක් ලබා දෙනව.
පළාත් පාලන ගැන කියනව නම් නගිනව නම් දැන්ම නගින්න අපේ බස් එකට. අන්තිම මොහොතේ ඇවිල්ල එල්ලෙන්න එන්න එපා. මම මාස ගණනකට ඉස්සෙල්ල කිව්ව , එක්සත් ජාතික පක්ෂයේ අයටත් යන්න වෙනව කපුට ළඟට කාඩ් එක ගන්න නෙළුම් මාවතට. මොන විළි ලැජ්ජා නැති දෙයක්ද ? අලි යනවද කපුට ළඟට කාඩ් එක ගන්න. අලියගෙ කොන්ද කඩල ඉවරයි. අලිය විනාශ කරල ඉවරයි.
සුද්ධ සංවිධානය තියෙන්න අපි ළඟ. අපි සෑම දෙනාම බාර ගන්න සූදානම් නැහැ. උගත් බුද්ධිමත් රටට ආදරය කරන සුද්ධ වූ අයට අප පක්ෂයට එන්න පුළුවන්.
ආණ්ඩුවේ සිටි මුදල් ඇමති , අගමැති, ජනාධිපති ගෙදර යැවීම පිනිස පණිවිඩ යැවීම පිනිස භාවිතා කළේ දුරකථනය. එම දුරකථනය සමගි ජනබල වේගයේ ලාංඡනයයි. "
තිලකරත්න දිසානායක
