සමගි ජන බලවේගය ප්‍රතිචාර දක්වන්නේ වෙනත් දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන කරුණු කාරණාවලට නොව රට බංකොලොත් වීමත් සමඟ මෙරට කාන්තාවන් ප්රමුඛ ජන සමාජයේ සෙසු පාර්ශ්වයන්ට මුහුණ දීමට සිදුවන බරපතල ඛේදනීය තත්ත්වයට උත්තර සහ විසඳුම ලබා දීම සදහා බවත් බොහෝ දෙනකුට කාන්තාව අමතක වී ඇති මොහොතක කාන්තා ප්රඥප්තියක් සකස් කිරිමට යොමු වූයේ අද ඊයේ නොව 2019 වසරේ බවත් මේ එහි දිගුවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ අවස්ථාවේ රටේ ඇති ලොකුම අභියෝගය වන්නේ දුප්පත්කම තුරන් කර ආර්ථික වර්ධන වේගය වැඩි කිරීමත් තොරතුරු තාක්ෂණය සිහිනයක් නොව යථාර්ථයක් කරන්නේ කෙසේද යන්න මිස දේශපාලන පක්ෂ නොවන බවත් ආර්ථික වර්ධනය සැමට ප්රතිලාභ ලැබෙන ආකාරයට බෙදී යන ආකාරයට ක්‍රියාත්මක කිරීම අභියෝගයක් බවත් අනෙකුත් පක්ෂවල අභියෝග තැකීමකට ලක් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මහනුවර දී අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිගෞරවාර්හ වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහානායක ස්වාමීන් වහන්සේ සහ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අස්ගිරි පාර්ශවයේ මහා ලේඛනාදිකාරි මැදගම ධම්මානන්ද හිමියන් මුණ ගැසී ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
සමගි ජන බලවේගය අයි. එම්. එෆ්. රාමුව තුළ නැවත සංශා්ධනයකට යන බවත් ජනතා විරෝධි ප්රතිගාමී කොටස් ඉවත් කර ජනතාවදී එකඟතාවකට යොමුවන බවත් සමගි ජන බලවේගයට පැහැදිලි දැක්මක් ඇති බවත් ඒ සදහා දක්ෂ පක්ෂ කණ්ඩායමක් සිටින බවත් ඒ අභියෝග සියල්ලට මුහුණ දී සත්‍යවාදීව මුහුණ දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විවිධ අනාවැකි පුරසාරම් දොඩන සමහර පුද්ගලයන්ට පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයක් හෝ දිනා ගත නොහැකි වූ බවත් කියන්නා කෙසේ කීවත් අසන්නා බුද්ධිමත්ව ඇසිය යුතු බවත් සර්වජන ඡන්ද බලයෙන් නොව රට බංකොලොත් කළ 134ක් අත් ඉස්සූ ජනාධිපතිවරයෙක් වර්තමානයේ සිටින බවත් ඒ අතරින් 113 දෙනකු රටේ සෞඛ්‍ය විනාශ කළ කෙහෙලිය ආරක්ෂා කරන්න පෙරට පැමිණි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
රටේ ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් එක නිසි යාන්ත්‍රණයක් සකස් කර නොමැති බවත් ඔවුන් පිටරට සංචාර කරමින් සිටිනවා මිස ජනතාවගේ දුක නොතේරෙන බවත් සමගි ජන බලවේග රජයක් තුළ ප්‍රතිඵල කේන්ද්‍රීයව කාලසටහන් මත කටයුතු කරන බවත් කාර්යක්ෂම කාර්යශූර ආණ්ඩුවක් බවට පත් වෙන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සමගි ජන බලවේග රජයක් තුළ තනතුරු දැරුවත් එය සුරසැප විදිමට නොව ජනතාව වෙනුවෙන් සේවය කිරීමට සිදුවන බවත් පැවසීය.
එසේම රට කාපු හොරුන් සමඟ එකට එකතු වීමට කිසිදින කටයුතු නොකරන බවත් නිවැරදි ගමනක් තුළ විනිවිදභාවයෙන් යුක්තව ලක්ෂ 220ට වගවෙන වගකියන ආණ්ඩුවක් ක්‍රියාත්මක කරන බවත් සක්විති රජකම දෙනවා කිව්වත් හොරු එක්ක ඩීල් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවසාන වශයෙන් පැවසීය.