සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් නායකයෙකු ලෙස පිළිනොගන්නා බව සමාජයේ මතය වී ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා පවසයි. කොතරම් පුරසාරම් දෙඩුවත් ඔහුට රටේ නායකත්වය භාරගැනීමට තරම් වාසනා ගුණයක් නොමැති බව මේ වන විට ස්ථිර වශයෙන්ම තහවුරු වී ඇති බව රංගේබණ්ඩාර මහතා පෙන්වා දෙයි.
එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති කාන්තා සමුළුවකට එක්වෙමින් මහලේකම්වරයා මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එජාප මහලේකම්වරයා මෙසේද පැවැසීය.
“නායකයින් හරිහැටි හදුනාගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ අවස්ථාවලදීයී. මේ මොහොතේ අගමැතිකම භාරගන්නා ලෙස සජිත් ප්‍රේමදාස මහතාටත් දැනුම්දීලා තිබුණා. එහෙත් ඔහු විවිධ කොන්දේසි ඉදිරිපත් කරමින් කල්මැරීමේ ප්රතිපත්තියකයි සිටියේ. ඒ වෙලාවේ තමයි ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අගමැතිකම භාරගන්නා ලෙස ආරාධනා කළේ. අපි ඒ මොහොතේ කොන්දේසි දමන්න ගියේ නෑ.
අපි රට වැටී ඇති තැනින් නගා සිටුවන්න අවශ්‍ය කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කළා. කොහොම වුණත් රනිල් වික්‍රමසිංහ නායකතුමාට අගමැතිකම දෙන බව දැනගත් වහාම සජිත් ප්‍රෙමදාස විපක්ෂ නායකතුමා කඩිමුඩියේ ජනාධිපතිවරයාට ලිපියක් ලියනවා අගමැතිකම භාරගන්න ලෑස්තියි කියල. මුලින් දාපු කොන්දේසිත් සරල කරලා තමයි ඒ ලිපිය ලියන්නේ. බල්ල පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ වගේ ප්රතිපත්තියක සිටිමින් දේශපාලනය කරන මේ ඇත්තන්ට හරිදේ කොහොම උගන්වන්නද ? මේක තමයි කුහකත්වය. ඊට එහා හැදින්වීමක් ඊට නැහැ.
සජිත් ප්‍රේමදාස මහතා දැනුත් කරන්නේ මේ වැඩපිළිවෙල ආපස්සට හැරවීමේ ක්‍රියාන්විතයක්. එහෙම කරන්න උචිත නෑ. මේ අවස්ථාව ඉතා අවධානම් තත්ත්වයක්. හරීන්, මනූෂ වගේ අය ඇවිත් අගමැතිතුමාගේ වැඩපිළිවෙලට සහය දීම තුළම විපක්ෂ නායකවරයාගේ සෘණාත්මක හා අසමත් ක්‍රියාකලාපය පැහැදිලි වනවා. ආරංචියේ හැටියට සමගි ජනබලවේගයේ බොහෝ අය ඉන්නේ සජිත් ප්‍රේමදාසගේ නායකත්වය පිළිබද පැහැදීමකින් නොවෙයි.
අපිට කියන්නට තිබෙන්නේ එක දෙයයි. ඒ නම් ජනතාව දැන් සත්‍ය වටහා ගනිමින් සිටිනවා. නායකයෝ කව්ද ? රටට ආදරය කරන කණ්ඩායම් හා පුද්ගලයින් කව්ද? ආදී වශයෙන් ජනතාව සත්‍ය වටහා ගනිමින් සිටිනවා. ඒ තත්ත්වය තුළ විපක්ෂ නායකවරයාට අත්වන ඉරණම කණගාටු විය හැකියි. ඒ සම්බන්ධයෙන් පුද්ගලිකව මාද කණගාටු වනවා.
මේ මොහොතේ කිවයුතු තවත් කාරණයක් වන්නේ ජනාධිපතිවරයා සමත් කිරීම අපගේ වෑයම නොවන බවයි. අපේ වෑයම වන්නේ රට සමත් කර ජනජීවිත සවිබල ගැන්වීමයි. රට නගා සිටුවීමයි. අසමත් අය අසමත් බව මේ වන විට රට පමණක් නොව ලෝකයම අබෙබෝධ කරගෙන අවසන්. ඒ ගැන නැවත නැවත කියන්න අවශ්‍ය වන්නේ නෑ.”