මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවට පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විරුද්ධව ඡන්දය පාවිච්චි කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.
"ජනාධිපතිතුමා පත් වූවාට පසු වර්තමාන ආණ්ඩුව 21වැනි ව්‍යවස්ථා සංශෝධනය නැවත ගෙනල්ලා කොමිෂන් සභා ස්ථාපිත කර සාධාරණ පාලනයක් සමාජයට සාධාරණයක් සඳහා එම කොමිෂන් සභා පත් කළා. අපිත් එයට සහයෝගය ලබා දුන්නා. නමුත් වර්තමාන රජය කරගෙන යන වැඩපිලිවෙල දිහා බැලුවම මේ රටට කොමිෂන් සභා අවශ්‍යද කියන ප්රශ්නය තියෙනවා.
හේතුව මැතිවරණ කොමිසමක් තියෙනවා ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිය රකින්න ඡන්ද තියන්න බැරි. විධායක බලයට නතු වෙලා. අනෙක් පැත්තෙන් මහජන උපයෝගිතා කොමිසම තියෙන්නේ මහජනතාව වෙනුවෙන් පෙනී සිටින්න. නමුත් මහජන උපයෝගීතා කොමිසමට බෑ මහජනතාව වෙනුවෙන් පෙනී ඉන්න. දැන් මහජන උපයෝගිතා කොමිසම මහජනතාව වෙනුවෙන් පෙනී ඉන්න කතා කරා කියලා අද ඒ කොමිසමේ සභාපති වරයා අයින් කරන්න වර්තමාන ආණ්ඩුව පාර්ලිමේන්තුවට යෝජනාවක් ගේන්න යනවා.
මේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති වරයා පත්කළේ අපිද? නැහැ. වර්තමාන ආණ්ඩුවෙන් තමයි පත් කළේ. කොමිෂන් සභා ටික ආණ්ඩුවේ අල්ලේ නටන්නේ නැත්නම් ඡන්ද තියන්න බෑ, විදුලි බිල වැඩි කිරීමට විරුද්ධව මහජනතාව වෙනුවෙන් පෙනී ඉන්න බැහැ. ඔය ආකාරයටම ඉදිරියේදී අනිකුත් කොමිෂන් සභා වලටත් මේ ඉරණම අත් වෙනවා.
ඒ නිසා මේක ඉතාම නරක පූර්වාදර්ශයක් දැනට ඉන්න කොමිෂන් සභාවල සාමාජිකයින්ට. ස්වාධීන කොමිෂන් සභා ස්වාධීනව හැසිරුනොත් ආණ්ඩුව කියන විදිහට කරන්නේ නැතුව මේක තමයි ඉරණම කියලා මේ පෙන්වන්නේ. දැන් ස්වාධීන කොමිෂන් සභාවක් කියන්නේ ආණ්ඩුවට ඕන විදිහට හැසිරෙන්න පුළුවන් තැනක් නෙමෙයි. ආණ්ඩුවට ඕන විදියට අල්ලේ නැටවෙන කොමිෂන් සභා තියෙනවනම් ඒකට කොමිෂන් සභා ඕන නෑ.
අපි පැහැදිලිව කියන්නේ අපි පත් නොකරාට, මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාගේ ක්‍රියාකලාපයන් සම්බන්දව යම් යම් මතභේදාත්මක දේවල් තියෙන්න පුළුවන්. නමුත් ඔහු පෙනී සිටියේ මහජනතාව වෙනුවෙන් 200%කින් විදුලි බිල වැඩි කරද්දී ඔහු රජයට ඕන විදිහට එක නටවනවා නම් ස්වාධීන කොමිසමක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමතියි මේ පාර්ලිමේන්තුවට ගේන මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා අයින් කරවීම සඳහා වූ ඡන්ද විමසීමේ දී අපි බොහෝ දුරට විරුද්ධව තමයි ඡන්දය දෙන්නේ."