සංචාරක වීසා මගින් විදේශ රැකියා සඳහා පිටත්ව යැම තහන් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
පසුගිය දිනවලදී සංචාරක වීසා මගින් විදේශ රැකියා සඳහා යොමු වී විවිධ හිරිහැරයන්ට පත්වු කාන්තාවන් පිළිබඳව කාර්යාංශයට තොරතුරු වාර්තා වූ අතර, එසේ විදේශ ගතවූවන් මුහුණ පෑ විවිධ හිංසනයන් පිළිබඳව දිගින් දිගටම ජනමාධ්‍යය මගින් තොරතුරු ප්‍රචාරණය වූ බව කාර්යාංශය පවසයි.
ඕමාන් හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාල විසින් එරට තුළ අතරමංව ඇති ශ්‍රි ලාංකික කාන්තාවන් සම්බන්ධයෙන් කාර්යාංශය වෙත ඉදිරිපත් කර ඇති වාර්ථා මගින් පැහැදිලිවනුයේ ඔවුන් වැඩි වශයෙන් එකී රටවලට පැමිණ ඇත්තේ සංචාරක වීසා මගින් බවත්, ඔවුන් සම්බන්ධයෙන් හෝ ඔවුන්ගේ රැකියා පිළිබඳ වගකීම භාරගැනීම සඳහා කිසිඳු ආයතනයක් හෝ පුද්ගලයෙකු ඉදිරිපත් නොවන බැවින් අදාල කාන්තාවන් එරට තුළදී අතරමං වූ පිරිසක් වශයෙන් කල් ගෙවන බවත්, ඔවුන් නැවත මෙරටට ගෙන්වීමේ ගැටළුද මේ හේතුවෙන් පැන නැගී ඇති බවත්ය.
ඒ අනුව මෙම කරුණු සැලකිල්ලට ගෙන කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ නියෝගය පරිදි ඕමාන් රාජ්‍යයේ සියළුම රැකියා සඳහා විදේශ ගතවන කාන්තාවන් රැකියා වීසා බලපත්‍රයක් යටතේ විදේශ ගතවීම අනිවාර්ය බවත්, සංචාරක වීසා මගින් රැකියා සඳහා විදේශ ගතවීමට කරනු ලබන සියළුම උත්සාහයන් වැලැක්වීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා විසින් කාර්යාංශ නිලධාරින් වෙත උපදෙස් ලබා දී ඇත.
තවද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා අවස්ථා ලබාගැනීමේ අපේක්ෂාවෙන් සංචාරක වීසා මගින් විදේශ ගතවූ කාන්තා ශ්‍රමිකයින් පිළිබඳවත්, එසේ විදේශ ගතවූ කාන්තාවන්ගේ රැකියා නොලැබීම්, හිරිහැර කිරීම්, සිරගත කිරීම් හා අතරමංවීම් ආදී කරුණු පිළිබඳවද මේ වන විට කාර්යාංශය වෙත තොරතුරු වාර්තා වී ඇත. එබැවින් ඩුබායි, අබුඩාබි ඇතුළු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සියළුම ප්‍රදේශයන්හි ගෘහස්ථ හා නුපුහුණු රැකියා සඳහා කාන්තාවන් යෙදවිම, සංචාරක වීසා මඟින් සිදුකිරිම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කාර්යාංශය මේ වන විට පියවර ගෙන ඇති බව මහජනයා වෙත දැනුම් දෙනු ලැබේ.
මෙහිදී කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතයින් මාර්ගයෙන් ගෘහස්ථ හා නුපුහුණු රැකියා සඳහා යොමුවන කාන්තාවන්, කාර්යාංශ ලියාපදිංචිය ලබාදීමේදී විශේෂ උපදෙස් මත අදාල කාන්තාවන්ගේ ලියාපදිංචිය සඳහා මෙතෙක් ලබා දී තිබූ අවසරය 2022.10.10 දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමටද පියවර ගනු ඇත.
තවද ගුවන්තොටුපොල ඒකකයේ පිහිටුවා ඇති කාර්යාංශ ඒකකයේ සේවයේ නියුතු නිළධාරීන් සදහා විෂය භාර අමාත්‍යවරයා විසින් ලබාදී ඇති උපදෙස් අනුව සංචාරක වීසා මගින් ඉහත කී රටවල් සඳහා විදේශ රැකියා සඳහා යොමුවන කාන්තාවන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන අතර, ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර, රැකියා සඳහා යොමුවන තැනැත්තන් පිළිබඳව තහවුරුවීමක් සිදුවුවහොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා කාර්යාංශ විමර්ශන අංශය වෙත අදාල කාර්යය පැවරිමටද කටයුතු කරනු ඇත.