නීතිවිරෝධි අයුරින් සංචාරක වීසා මගින් කාන්තාවන් ඩුබායිහි රැකියා සඳහා යැවූ කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නොවැම්බර් මස 3 වන දින සිදුකරන වැටලීම, අඩ්ඩාලච්චේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සංචාරක වීසා මගින් කාන්තාවක් රැකියාවක් සඳහා ඩුබායි රාජ්‍යයට යවා ඇති අතර, එහිදී ඇයට පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට ඇයගේ සැමියා කාර්යාංශය වෙත ලබාදී ඇති පැමිණිල්ල සඳහන් කර ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ විමර්ශන නිළධාරීන් අදාල සැකකරු අත්අඩංගුවට ගෙන නොවැම්බර් මස 04 වන දින අක්කරෙයිපත්තු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරු ලක්ෂ 4 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහරින ලද අතර, නඩුව 2023 ජනවාරි 27 වන දින යළි කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.
මෙයට අමතරව, අම්පාර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්ද සංචාරක වීසා මගින් රැකියාවක් සඳහා ඩුබායි රාජ්‍යයට ගොස් ඇති අතර, එහිදී පොරොන්දු වූ පරිදි රැකියාව නොලැබීම හේතුවෙන් යළි දිවයිනට පැමිණීම පිළිබඳව කාර්යාංශයට ලද පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වූ විමර්ශන අංශයේ නිළධාරීන් අම්පාර, සාමපුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් නොවැම්බර් මස 2 දින අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් සැකකාරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී වින්දිත කාන්තාවට රැකියාව ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 5ක මුදලක් අයකර ඇති බව අනාවරණය විය. සැකකාරිය එදිනම අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහරින ලදී. මෙම ජාවාරම සඳහා සැකකාරියට සහාය වූ තවත් අයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කාර්යාංශය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.