ශ්‍රී ලාංකිකයන් තිදෙනකු කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට
ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් ඇමෙරිකා එක්සත් ජනපදයට සහ ඉතාලිය වෙත පැන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් තිදෙනකු 01/08 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් තිදෙනා 01/08 දින අලුයම 3.15 ට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පිටත්ව ගිය කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 669 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .
මොවුන් යාපනය දිස්ත්‍රික්කයේ පදිංචි ද්‍රවිඩ ජාතිකයන් වූ අතර , එක් අයෙකු මුල්ලියවලායි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණියකි . අනෙක් තරුණයා වෙල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකි .
මොවුන් දෙදෙනා කටාර් රාජ්‍යයේ දෝහා හරහා ඉතාලිය වෙත පැන යෑමේ අදහසින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
අනෙක් පුද්ගලයා යාපනය නගරයේ ම පදිංචි 27 හැවිරිදි තරුණයෙකි . ඔහු කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගොස් , එතැනින් එංගලන්තයේ ලන්ඩන් වෙත පැමිණ , එතැන් සිට ඇමෙරිකා එක්සත් ජනපදය වෙත පැන යාමට සැළසුම් කර තිබුණි .
මෙම ගුවන් මගීන් තිදෙනා තම ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම සදහා කටාර් ගුවන් සේවා කවුළුව වෙත පැමිණි අවස්ථාවේ දී , ඔවුන් සතුව තිබූ වීසා බලපත්‍ර පිළිබඳව සැක සිතූ එම ගුවන් සේවා නිලධාරීන් , මොවුන් තිදෙනා කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කර තිබේ .
එහිදී ඔවුන් අතරින් මුල්ලියවලායි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණිය සහ වෙල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයා ඉදිරිපත් කළ වීසා බලපත්‍ර , ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ ඒවා බවට සිය තාක්ෂණික පරීක්ෂණ වලින් දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් තහවුරු කර ගනු ලැබූහ .
එමෙන්ම යාපනය නගරයේ පදිංචි 27 හැවිරිදි තරුණයා ඉදිරිපත් කළ බ්‍රිතාන්‍යය රජය විසින් නිකුත් කළ වීසා බලපත්‍රය , ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් කාර්යාලය මගින් අවලංගු කරන ලද , වීසා බලපත්‍රයක් බවට ද තොරතුරු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් අනාවරණය කර ගැනීමට සමත් වූහ .
ඉන්පසුව මොවුන් තිදෙනා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ .
කටුනායක ටී.කේ.ජී.කපිල
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
