ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට ඉංජිනේරුමය දැනුම හා ප්‍රවේශයක් ලබා දීම සඳහා අද දින (28) රාජ්‍ය ආයතන දෙකක් වන මධ්‍යම ඉංජිනේරු උපදේශණ කාර්යාංශය හා ජාතික හදබිම අධිකාරිය අවබෝධතා ගිවිසුමකට එළඹුනහ.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර හා රෝෂාන් රණසිංහ මහත්වරු ද, ජාතික හදබිම අධිකාරියේ සභාපති සරත් විතාන හා මධ්‍යම ඉංජිනේරු උපදේශණ කාර්යාංශයේ සභාපති ඉංජිනේරු අතුළ ගල්කැටිය යන මහත්වරු ඇතුලු පිරිසක් සහභාගි වූහ.
මෙම ගිවිසුම යටතේ දැනට ජාතික හදබිම අධිකාරිය යටතේ පවතින පල්ලෙකැළේ හා කොත්මලේ ගොවිපොළ දෙක සංවර්ධනයට අවශ්‍ය පියවර ගනු ඇත.
පල්ලේකැළේ ගොවිපොළ ගොවිපොළ කුකුළු ගොවිපොළක් ලෙස පවත්වාගෙන යන අතර එහි දැනට දෛනික බිත්තර රක්කවන ධාරිතාවය 6000ක් වේ. එම ප්‍රමාණය 36,000 දක්වා ඉහළ නැංවීමත්, 700 වන මව් කිකිළි නිෂ්පාදන ප්‍රමාණය 3000ක් දක්වා ඉහළ නැංවීම, වාර්ෂික බිත්තර නිෂ්පාදනය 60,000 සිට 250,000 දක්වා ඉහළ නැංවීමත් අරමුණ වේ.
එමෙන්ම දැනට මෙහි වාර්ෂික කිකිළි පැටවුන් නිෂ්පාදනය 20,000ක් වන අතර එය ලක්ෂ 02ක් දක්වා ඉහළ නැංවීමට ද යෝජනා කර ඇත.
එමෙන්ම කොත්මලේ ගොවිපොල එලවළු හා පලතුරු නිෂ්පාදනය සඳහා යොදා ගැනීමටත්, මෙම කටයුතු සඳහා CECB ආයතනයේ තාක්ෂණික දැනුම හා ආයෝජනමය හැකියාව යොදා ගැනීමත් අරමුණු කර තිබේ.