ශ්‍රී ලංකා ගුවන් සේවා ගුවන් නියමු සංසදයේ සාමාජික ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ ගුවන් නියමුවන් තමන්ට පැවරී ඇති රාජකාරී පමණක් ඉටු කිරීමේ වැඩපිළිවෙළ නැවතත් ක්‍රියාත්මක කිරීමට පටන් ගන්නා බව එම සංසදය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.
ඉකුත් 2021 වසරේ දෙසැම්බර් 18 දින සිට ශ්‍රී ලංකන් ගුවන් සේවා පරිපාලනයෙන් තම සංසදයේ ගුවන් නියමුවන්ට සිදු වී ඇති නීත්‍යානුකූල නොවන කප්පාදු කිරීම් වලටසාධාරණ විසදුමක් ලබා ගැනීම සඳහා තමන් මෙම ක්‍රමවේදය අනුගමනය කිරීමට තීරණය කර ඇති බව එම සංසදය ප්‍රකාශ කර සිටී.
ජනවාරි 31දා තමඉල්ලීම්වලට නීත්‍යානුකූල විසදුම් ලබා දෙන බවට ශ්‍රී ලන්කන් ගුවන් සේවා පරිපාලනය ලිඛිතව පොරොන්දු වුවද, මේ වනතෙක් ඒ සඳහා සාධාරණ විසදුමක් ලබා දීමට ඔවුන් අපොහොසත් වී ඇති බව එම සංසදය පවසයි.
මේ අනුව 2022 පෙබරවාරි 04 දින සිට තමන්ගේ පියාසර ලැයිස්තුවේ තමන් සඳහා පවරා ඇති රාජකාරී පමණක් ඉටු කිරීමටත් , අනුමත වාර්ෂික නිවාඩු සහ පියාසර ලැයිස්තුවේ සඳහන් නිවාඩු දිනයන්හි රාජකාරී කටයුතු කිරීමෙන් වැළකී සිටීමටත් ශ්‍රී ලංකා ගුවන් සේවා ගුවන් නියමු සංසදයේ සාමාජික ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් නියමුවන් තීරණය කර තිබේ.