ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන් විසින් බැහැර කරනු ලබන පොලිතින්, ප්ලාස්ටීක් හා වෙනත් ඝණ අපද්‍රව්‍ය ඉවත් කිරීමට වාර්ෂිකව විශාල මුදලක් රජය වැය කරනු ලබන බවත්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පමණක් වාර්ෂිකව ඒ සඳහා රුපියල් මිලියන දෙකකට වඩා වැඩි මුදලක් වැය කරනු ලබන බවත් නුවඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පැවැසීය.
2023 හා 2024 වර්ෂවල ශ්‍රී පාද වන්දනා වාරය ලබන දෙසම්බර් මස 26 දිනයට යෙදෙන උඳුවප් පොහොය දිනයෙන් ආරම්භ කරනු ලබන බවත්, පොලිතින් හා ප්ලාස්ටීක් වැනි අපද්‍රව්‍ය සිරිපා අඩවියට රැගෙන ඒමෙන් තොරව වන්දනාවේ පැමිණෙන ලෙස සියලුම බැතිමතුන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින බවද ගලබඩ මහතා පැවැසීය.
ශ්‍රි පාදස්ථානය පිහිටා ඇත්තේ දැඩි ආරක්ෂිත ස්වාභාවික වනාන්තර පද්ධතියක් තුළ බවත්, එබැවින් වන්දනාවේ පැමිණෙන සියලුම නඩ හා පිරිස් පොලිතින්, ප්ලාස්ටීක් හා වෙනත් ඝණ අපද්‍රව්‍ය සිරිපා අඩවියට මුදා හැරීමට පියවර නොගත යුතු බවද ගලබඩ මහතා කීය.
ශ්‍රී පාදස්ථානාධිපති හිමියන්ගේ අනුශාසනා හා උපදෙස් අනුව නුවරඑළිය හා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා සියලුම රාජ්‍ය ආයතන සම්බන්ධිකරණයෙන් බැතිමතුන්ට අවශ්‍ය මාර්ග, ජලය, විදුලිය හා අනෙකුත් පොදු පහසුකම් ඉදිරි දිනවලදී සංවර්ධනය කරනු ලබන බවත්, මේ වනවිට ඊට අවශ්‍ය සියලුම කටයුතු සම්පාදන කොට ඇති බවද නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා වැඩිදුරටත් පැවැසීය.