ශ්‍රීපාද වන්දනාකරුවන් අඩුවීම නිසා නල්ලතන්නියේ වෙළඳ ප්‍රජාව අසීරුවේ
මෙවර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වී මේ වන විට මාස 02 කට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇතත් වෙනත් වසරවලට සමගාමීව මෙම වසරේදී බලාපොරොත්තු වූ වන්දනාකරුවන් පිරිසක් නොපැමිණීම හේතුවෙන් තමන් අපහසුතාවයට පත්ව සිටින බව නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ වෙළඳ ප්‍රජාව පවසති.
සෑම වසරකම දෙසැම්බර් මස පුන් පෝය දිනයෙන් ආරම්භ වන ශ්‍රීපාද වන්දනා සමය අනික් වසරේ මැයි මස වෙසක් පුන් පෝය දිනය දක්වා මාස 06 ක කාලයක් අඛණ්ඩව පැවැත් වේ.
ශ්‍රීපාද වන්දනා සමයේදී ශ්‍රීපාද වන්දනාකරුවන් ඉලක්ක කර ගනිමින් වෙළඳාම් කටයුතු කිරීම සඳහා නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ හා කිතුල්ගල සිට කළුගල, ගිනිගත්හේන, නෝටන්බ්‍රීජ්, හැටන්, මස්කෙළිය, මාවුස්සාකැලේ, නල්ලතන්නිය යන නඟරවල තාවකාලික වෙළඳසල් විශාල ප්‍රමාණයක් ඉදිකරනු ලබයි. මෙම ව්‍යාපාරික ප්‍රජාව ශ්‍රීපාද වන්දනාකරුවන්ට දෛනිකව සිදු කරන වෙළඳාම් වලින් ලැබෙන ආදායමෙන් තම ජීවිකාව පවත්වාගෙන යති.
නල්ලතන්නිය නඟරයේ හා නල්ලතන්නිය -ශ්‍රීපාද මාර්ගයේ වෙළඳාම් කටයුතුවල නිරතව සිටින වෙළඳ ප්‍රජාව මේ සම්බන්ධයෙන් කියා සිටියේ මෙවර අනපේක්ෂිත ලෙස පැමිණි දිට්වා සුළි කුණාටුව නිසා ඇතිවූ ආපදාවන් මෙවර වන්දනාකරුවන් අඩුවීමට බලපා ඇති බවත්, උඩරට දුම්රිය මාර්ගයට වූ ආපදාවන් නිසා දුම්රිය ධාවනකටයුතු සීමා කර තිබීම වන්දනාකරුවන්ගේ නොපැමිණීමට විහේෂයෙන් බලපා ඇති බවත්ය.
සෑම වන්දනා සමයකදීම රාජ්‍ය හා පෞද්ගලික බැංකු වලින් ණය මුදල් ලබාගෙන තම ව්‍යාපාර පවත්වාගෙන යන බව පවසන නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ වෙළඳ ප්‍රජාව වැඩිදුරටත් පවසන්නේ අපේක්ෂිත වෙළඳාම් කටයුතු සිදු කිරීමට නොහැකිවීමෙන් බැංකු ණය වාරික පියවීමට නොහැකිව මෙවර තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින බවය.
මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
