මෙරට ආර්ථික වර්ධන වේගය 7.5% දක්වා ඉහළ නැංවීමෙන් විශ්‍රාම වැටුප් ක්‍රමය දැනට වඩා නවීකරණය කිරිමට හැකි වන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශක්තිමත් අපනයන ආර්ථිකයක් නිර්මාණය කරලීම ඔස්සේ එවැනි ආර්ථික වර්ධන වේගයක් ලබා ගත හැකි බව ද පැවසීය.
ඒ ඉලක්කය සපුරාගැනීමේ අරමුණ ඇතිව අපනයන ආර්ථිකය නිර්මාණයට දායක වන පෞද්ගලික අංශයට සහාය වීම සඳහා රුපියල් බිලියන 500ක් ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව ද අගමැතිවරයා පැවසීය.
අගමැතිවරයා මෙම අදහස් පළ කළේ අද (08) කොළඹ, නෙළුම් පොකුණ රඟහලේ පැවති ජාතික විශ්‍රාම දින සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,
"ජාතික විශ්‍රාමික සැමරුම් දිනය අදට යෙදී තිබෙනවා. සියලූ දෙනාම සේවයට පැමිණි කාලයේ මමත් දේශපාලනය ආරම්භ කළා. රටේ නීතියට අනුව විශ්‍රාම වයසට පසුව සියලූ දෙනාම විශ්‍රාම ගත යුතු වෙනවා. දේශපාලනඥයින්ට විශ්‍රාම ගැනීමට නියමිත වයසක් පනවා නැහැ. ඒ නිසා මමත් මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමත්,සම්බන්ධන් මහතාත් තවම දේශපාලනයේ රැඳී සිටිනවා.
රාජ්‍ය සේවයේ අත්දැකීම් රාශියක් තිබෙන විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වී සිටිනවා. හැටේ දශකයේ හා හැත්තෑව දශකයේ බොහෝ පිරිසක් රාජ්‍ය සේවයට එක් වුණා. 1977 වසර වන විට මෙහි සිටින බොහෝ පිරිසක් රාජ්‍ය සේවයේ සිටියා. එහිදී පාලන ආර්ථිකයක සිට විවෘත ආර්ථිකයකට පරිවර්තනය වීමට සිදු වුණා. රජයේ සේවකයින් එම වැඩ කටයුත්ත සිදුකිරීමට ක්‍රියාකල බව සඳහන් කරන්න කැමැතියි. විවෘත ආර්ථිකය ඇති කළ විට රාජ්‍ය සේවකයින් ප්‍රමාණය අඩු වෙතැයි විශාල බියක් පැතිරුණා. ඒත් එම සංඛ්‍යාව විවිධ ආණ්ඩු යටතේ වැඩි වුණා.
1983 වසරේදී කෝලහාල ඇතිවූ විට එම තත්වයන්ට මුහුණදුන් ආකාරය වගේම 1978 කාලයේ උතුරු නැගෙනහිර සුළි සුළඟට මුහුණදුන් ආකාරය මට සිහිපත් වෙනවා. අපි මේ සියල්ලකටම මුහුණ දෙමින් විශාල සංවර්ධනයක් ඇති කළා. මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය කඩිනම් කර වසර 05 කින් අවසන් කිරීමට හැකි වුණා.
නව අගනුවර වශයෙන් කෝට්ටේ ඉදිකිරීමට විශාල කැපවීමක් සිදු කළා. නිවාස ඉදිකිරීම, විදුලිය ලබාදීමට වගේම සංවර්ධන සභා මාර්ගයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් සිදු කළ සේවය මෙහිදී සඳහන් කළ යුතුයි.
ඒ සියල්ල සිදුවන විට යුද්ධයට මුහුදීමට සිදු වුණා. ඒ යුද්ධමය හා දකුණෙ භීෂණ වාතාවරණය මත වුවද ඔබ සියලූදෙනාම ආණ්ඩුව පවත්වාගෙන ගියා. එහිදී ඇතැම් නිලධාරීන්ගේ ජීවිත පවා අහිමි වුණා. 2004 වසරේ සුනාමියට මුහුණදීමට සිදුවුණා. ස්වභාවික ව්‍යවසනයන්හිදී ජීවිත ගලවාගෙන යළි ප්‍රතිසංස්කරණය ඇති කිරීමට ඔබ සියලූ දෙනා කටයුතු කළා.
යුද්ධය නිමාකර ආර්ථික අභියෝගවලට මුහුණදී සංහිඳියාව ඇති කිරීමේ පළපුරුද්ද ඔබ සතුව තිබෙනවා. ඒ නිසා එවැනි කාලයක සේවය කළ ඔබ සියලූ දෙනාටම මම ස්තූතිය පළ කරනවා. ඔබ කළ සේවය නිසා රාජ්‍ය යාන්ත්‍රණය යුද්ධවලින්, කෝලහාලවලින්, ස්වභාවික ව්‍යවසනවලින් ආරක්ෂා වුණා. විශ්‍රාමික ලේකම්වරුන්ගේ අත්දැකීම් රටට ලබාගත හැකි ආකාරය පිළිබඳව එම සංගම්වලින් ප්‍රශ්න කළා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභා සඳහා විශ්‍රාමික ලේකම්වරුන්ගේ සේවය ලබාගැනීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී ඇති කිරීමට පියවර ගන්නවා.
ඒ වගේම සමාජය දියුණු කළ යුතුව තිබෙනවා. විශ්‍රාම වැටුප් ක්‍රමය මීටත් වඩා නවීකරණය කිරීම පිළිබඳව මමත් ඇමතිතුමත් අද මෙම උත්සව අවස්ථාවේදී සාකච්ඡා කළා. නමුත් එම තත්ත්වය ඇති කිරීමට රටේ ආර්ථික වර්ධන වේගය 7.5% දක්වා වැඩි විය යුතුයි.
මෙරට ආර්ථික වර්ධන වේගය 7.5% දක්වා ඉහළ නැංවීමෙන් විශ්‍රාම වැටුප් ක්‍රමය දැනට වඩා නවීකරණය කිරිමට හැකි වෙනවා. ආර්ථික වර්ධන වේගය 7.5% දක්වා ඉහළ යාම තුළින් වර්තමාන රාජ්‍ය සේවකයාට මෙන්ම විශ්‍රාමික ඔබ සියලූ දෙනාටත් එහි වාසි අත්වෙනවා. ආර්ථික වර්ධනය එවැනි තත්ත්වයකට පත්කිරීමට මෙරට ආර්ථිකය අපනයන ආර්ථිකයක් බවට පත්කළ යුතුයි. අපනයන ආර්ථිකය තුළින් ඇතිවෙන ආර්ථික වර්ධන වේගයෙන් මෙරට දියුණුවට පත්වෙනවා යනුවෙන් අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
