වෛද්‍ය වැඩවර්ජනය අසාධාරණ බවත්, රෝගීන් පීඩාවට පත්කරමින් සිදුකරන මෙම වැඩවර්ජනයට මුහුණ දීමට රජය සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. අමාත්‍යවරයා අද(09) පාර්ලිමේන්තුවේදී මේ බව පැවසීය.
දේශපාලන අරමුණු මත කුඩා කණ්ඩායමක් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සමඟ අද (09) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව නොපවත්වන බව ද ඒ මහතා පැවසීය.
පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමේදී ගැටලුවක් පවතින බව පවසන්නේ නම් ඒ සඳහා අධිකරණය වෙත යාම සුදුසු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
තවද පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් 453 දෙනාගෙන් 436 දෙනෙකුම පත්වීම් ලබාගැනීමට අයදුම් කර ඇති බවත්, එබැවින් මෙම වැඩවර්ජනයට පදනමක් නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.