අනියම් බිරිඳගේ නොමේරු දරු ගැබ ඉවත් කර ගබ්සාවක් කර දෙන ලෙසට තර්ජනය කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ මාතෘ හා නාරිවේද වෛද්‍ය ප්‍රතිකාර වාට්ටුවේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකුට පහර දීමට තැත් කළ තරුණයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මැල්සිරිපුර පොලීසිය පරීක්ෂණ පවත්වයි.
ඊයේ (8) පස්වරුවේ මෙම සිදුවීම වී ඇති බව කියයි. සැකකාර තරුණයා මැල්සිරිපුර පොලිස් බළ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකි. ලාබාල ගැබිණියක බව කියන ඔහුගේ අනියම් බිරිඳද මැල්සිරිපුර ප්‍රදේශයේම පදිංචි 19 හැවිරිදි අවිවාහක කාන්තාවකි.
දෙදෙනා අතර පැවති අනියම් සබඳතාවයකින් පසුව කාන්තාව ගැබ්ගෙන ඇති අතර සති 29 ක පමණ නොමේරු දරු කළලයක් සහිත ඇය තමන්ට අමාරු බව පවසමින් ප්‍රතිකාර සඳහා මීට දින දෙකකට පමණ ඉහතදී කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත්වී ඇත.
එදින පටන් තම අනියම් බිරිඳ බැලීමට සැකකරු රෝහලට පැමිණ ඇති බවද එහිදී ඔහු අසාධ්‍යව සිටින ඇයගේ දරු ගැබ ඉවත් කර දෙන ලෙසට ප්‍රතිකාර ඒකකයේ කාර්ය බාර වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා ඇති බවද කියයි.
දරු ගැබ ඉවත් කර ඇගේ ජීවිතය බේරා දෙන ලෙසට සැකකරු වෛද්‍ය කාර්ය මණ්ඩලයට නිරන්තරයෙන්ම බල කිරීම කරගෙන ගොස් ඇති අතර එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ වෛද්‍ය කාර්ය මණ්ඩලය ගැබිණිය පරීක්ෂා කිරීමෙන් පසුව ඇයට හෝ අැයගේ කුස තුළ සිටින දරුවාට කිසිදු අවදානම් තත්ත්වයක් නැති බවද ඔහුට පහදාදී ඇත.
වෛද්‍යවරුන් පවසන දේ තරයේම ප්‍රතික්ෂේප කළ තරුණයා අනවාර්යයෙන්ම තම අනියම් බිරිඳ ගබ්සා කරන ලෙසට වෛද්‍ය කාර්ය මණ්ඩලයට බල කරමින් ආවේගශීලීව හැසිරීමට පටන් ගෙන ඇත.
මෙම තත්ත්වය මත ඔහුට කරුණු පැහැදිලි කර දීම සඳහා එම ප්‍රතිකාර ඒකකය බාර ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍යවරයෙකු තම නිල කාමරයට ඔහු කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් කරන ලද කරුණු පිළිනොගත් සැකකරු එම වෛද්‍යවරයාගේ කමිසයේ කොලරයෙන් අල්ලා ඔහුට පහර දීමට උත්සාහ දරා ඇත. පහර දීම වැළැක්වීම සඳහා වෛද්‍ය කාර්ය මණ්ඩලය මැදිහත් වූ අවස්ථාවේදී සැකකාර තරුණයා රෝහලෙන් පිටතට පලා ගොස් තිබේ.
මේ සම්බන්ධයෙන් වාට්ටුවේ කාර්ය මණ්ඩලය රෝහල් පොලීසියට පැමිණිලි කර ඇති අතර එම සිද්ධියෙන් පසුව ගමෙන්ද පලා ගොස් සිටින සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මැල්සිරිපුර පොලීසිය පරීක්ෂණ සිදු කරමින් සිටී. වෙනත් චෝදනාවක් යටතේ බන්ධනාගාරගතව සිට ඇති සැකකරු ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන නඩුවට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලබා සිටින අයෙකු බවද පැවසේ.