තමා වෛද්‍යවරිය අපයෝජනය කළේ බලහත්කාරයෙන් නොවන බවටත්, තමා සහ වෛද්‍යවරිය සිද්ධිය වූ දිනයේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ දෙවැනි ගේට්ටුවේ සිට වෛද්‍යවරියගේ නේවාසිකාගාරය දක්වා ඇය සමග කතාබස් කරමින් ගිය බවත් අලුයම දෙක දක්වා වෛද්‍යවරියගේ නේවාසිකාගාරයේ රැඳී සිටි බවත් සැකකාර හිටපු යුද හමුදා සෙබළා ඉකුත් 19 දින විවෘත අධිකරණයේදී කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවට විමර්ශනවලදී හෙළි වූයේ යැයි අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක ඒ. සී. දයානන්ද මහතා වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට දැනුම් දුන්නේය.
මෙසේ දැනුම් දුන්නේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍යවරියක බරපතළ ලෙස අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව අද (26දා) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා ඉදිරියේ යළි කැඳවූ අවස්ථාවේදීය.
එහිදී අදාළ වැඩිදුර වාර්තාව මගින් උප පොලිස් පරීක්ෂකවරයා තවදුරටත් අධිකරණයට දැනුම් දුන්නේ සැකකරු මුළුමනින්ම අසත්‍ය මෙවැනි ප්‍රකාශ විවෘත අධිකරණයේදී සිදුකරනු ලබන්නේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලබා දී වින්දිත වෛද්‍යවරිය අපහසුතාවට පත් කරීමේ අරමුණින් බවය.
සැකකරු විසින් චේතනාන්විතවම වින්දිත වෛද්‍යවරිය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් මෙවැනි අසත්‍ය ප්‍රකාශ සිදුකිරීමට අධිකරණයේ අවසරය මින් මතුවට ලබා නොදෙන ලෙසටද ඉල්ලා සිටි උප පොලිස් පරීක්ෂක ඒ. සී. දයානන්ද මහතා සැකකරු සිදු කරන මෙවැනි පදනම් විරහිත ප්‍රකාශ සිදු කිරීමෙන් අධිකරණයේ කාලය නිකරුණේ මිඩංගු වන බවද කීවේය.
සිද්ධිය වූ දිනයේ මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹීමට අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සහ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය ඇතුළු විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් එදින රාත්‍රී නවයයි තිහට පෙර මෙම අපරාධය සිදුවූ ස්ථානයට ගිය බවද සඳහන් කළ උප පොලිස් පරීක්ෂකවරයා තමාට සිදුවූ මෙම අපරාධය පිළිබඳව වින්දිත වෛද්‍යවරිය එදින රාත්‍රී 8.45 ට පමණ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඇය සේවය කළ වාට්ටුවට ගොස් වෛද්‍යවරියකට පවසා ඇති බවද ප්‍රකාශ කළේය.
මෙම සියලු කරුණු විමර්ශන නිලධාරීන්ගේ විශේෂ අවධානයට යොමු කළ බවද අධිකරණයට සැලකළ උප පොලිස් පරීක්ෂකවරයා ඒ අනුව සැකකරු අලුයම දෙක දක්වා වෛද්‍යවරියගේ නේවාසිකාගාරයේ රැඳී සිටි බවට අධිකරණයට මීට පෙර කළ ප්‍රකාශය සැකකරු විසින් සැලසුම් සහගතව ගොතන ලද්දක් බවත් එවැනි අසත්‍ය ප්‍රකාශවලින් වින්දිත වෛද්‍යවරිය අපහසුතාවට පත් කිරීමට දැඩි උත්සාහයක් දරා ඇති බවට අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම අපරාධය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවද පවසා සිටි උප පොලිස් පරීක්ෂකවරයා සැකකරු යළි රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසද අයැද සිටියේය.මෙම කරුණු දැක්වීම සැලකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා සැකකරු ජුනි මස 09 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
මෙසේ යළි රක්ෂිත බන්ධනාගාර ගත කළේ ගල්නෑව නව නගරය ඩී තුන ඇල පාර පදිංචි කේ.බී මදුරංග රත්නායක නමැති යුද හමුදාවේ හිටපු සෙබළෙකු මෙන්ම හිටපු චීවරධාරියෙකි.මේ අතර මෙම අපරාධය සිදුකිරීමෙන් අනතුරුව සැකකරු විසින් පැහැරගෙන ගොස් සඟවා තිබියදී පසුව සොයා ගැනුණු වින්දිත වෛද්‍යවරියට අයත් ස්මාට් ජංගම දුරකථනය විමර්ශනයක් සඳහා මේ වන විට රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා තිබේ. ඒ අධිකරණය ලබාදුන් නියෝගයකට අනුවය.
පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා නිශානී සෙනවිරත්න මහත්මියගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ඒ. සී. දයානන්ද මහතා පෙනී සිටි අතර අගතියට පත් වින්දිත වෛද්‍යවරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාගේ උපදෙස් මත නීතිඥවරයෙක් පෙනී සිටියේය.මෙවරද සැකකරු වෙනුවෙන් කිසිදු නීතිඥවරයකු පෙනී සිටියේ නැත.
අනුරාධපුර අධිකරණ උපාලි ආනන්ද