හිටපු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියෙකු වන දැනට අනුරාධපුර නගරයේ පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන වෛද්‍යවරයෙකු හෙරොයින් මත්කුඩු සමග ඊයේ (4දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පුබුදුපුර පාර, දහයියාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 67 වන වෛද්‍යවරයකු බව පොලීසිය කියයි.
සැකකාර වෛද්‍යවරයා විසින් පාසල් ළමුන්ට සහ තරුණයන්ට මත් පෙති හා මත්කුඩු අලෙවි කරන බවට උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණුු පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකින් අනතුරුව, දැඩි පරිශ්‍රමයක් යොදා සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
සැකකාර වෛද්‍යවරයා ඇදුම, පීනස සහ අංශභාගය වැනි රෝග වලට අනුරාධපුර නව නගරයේ, පළමු පටුමගේ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යමින් රෝගීන්ට ප්‍රතිකාර කරන බවත්, ඒ අතර වාරයේදී නිවසේ දී මෙම මත් මත්කුඩු සහ මත්පෙති වෙළඳාම සිදු කරන බවත් පොලීසිය කියයි.
විමර්ශන සිදු කළ නිලධාරීන් විසින් අනුරාධපුර දහයියාගම මංසන්ධියේදී සැකකාර වෛද්‍යවරයාගේ වෑන් රථය නතර කරන ලෙසට සංඥා කළද එය නොනවත්වා ධාවනය කර, ඔහුගේ නිවස අසලට ගොස් වෑන් රථයේ දොරවල් අගුළු දමා ගෙන වෑන් රථයේම සැගව සිටි බව පොලිසිය කියයි.
අනතුරුව එම වෛද්‍යවරයාගේ පුත්‍රයා සහ බෑනා පැමිණ වෑන් රථයේ අගුළු ඉවත් කිරීමෙන් අනතුරුව වෑන් රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් දෙකයි මිලි ග්‍රෑම් දෙසිය හැත්තෑවක් සොයා ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාර වෛද්‍යවරයා අද (5දා) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.