හැටන් නගරයේ අද (25) අලුයම් කාලයේදී වෙළෙඳසැල් හතරක් කඩා ඇතුළු වූ පුද්ගලයකු එහි තිබූ මුදල් සහ භාණ්ඩ තොගයක් සොරාගෙන ගොස් තිබේ.
මෙලෙස සොරකමට ලක්ව ඇත්තේ හැටන් නගරයේ පැති වීදියේ පිහිටි රන් ආභරණ නිෂ්පාදනාගාර තුනක් සහ සිල්ලර වෙළෙඳසැලකි.
වෙළෙඳසැල්වල දොරවල්වල අගුළු කිසියම් ආයුධයකින් කපා ඇතුළු වී ඇති සැකකරු, එම ස්ථානවල සවිකර තිබූ CCTV කැමරා මිටියකින් පහරදී කඩා දමා ඇති අතර, ඇතැම් කැමරාවල දිශාවන් වෙනස් කරමින් සොරකමේ නිරත වන අයුරු වෙළෙඳසැල් දෙකක ආරක්ෂිත කැමරා පද්ධතිවල සටහන් වී තිබේ.
මෙම සොරකම් සම්බන්ධයෙන් අදාළ වෙළෙඳසැල් හතරේම හිමිකරුවන් හැටන් පොලිස් ස්ථානයට පැමිණිලි ඉදිරිපත් කර ඇත.
මේ දිනවල හැටන් නගරය තුළ මෙවැනි සොරකම් සිදුවීම් කිහිපයක්ම වාර්තා වී ඇති අතර, සිද්ධීන් සම්බන්ධයෙන් සහ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හැටන් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
