පාරිභෝගික අධිකාරියේ මාතර කාර්යාලයේ නිලධාරීන් විසින් මාතර දිස්තික්කයේ සහල් වැඩි මිලට විකුණන බවට පාරිභෝගිකයන් විසින් කරන ලද පැමිණිලිවලට අනුව කඹුරුපිටිය නගරයේ සිදුකළ වැටලීමකදී වෙළඳ සැලක් තුළ සඟවා තිබූ සහල් කිලෝ 6000කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට පාරිභෝගික සේවා කාර්යාලයේ නිලධාරීන්ට හැකි විය .
උපාය දූතයකු යොදවා සහල් මිලදී ගැනීමට සලස්වා සහල් නොමැති බව පැවසීමෙන් අනතුරුව නිලධාරීන් පැමිණ වෙළෙඳ ආයතනය සෝදිසි කිරීමේදී මෙම හාල් තොගය සොයා ගැනීමට හැකිවිය .
කිලෝ 10 සහ කිලෝ 50 ලෙස සකස් කර තිබූ මලුවල අසුරා ඇති අතර එහි කිසිදු මිලක් සඳහන් නොවීම විශේෂත්වයක් විය .
මෙම සහල් තොගය අලෙවි කිරීමට තමන් මිලදී ගත් බවත් තමන් මිලදී ගත් මිල හා සැසදීමේදී පාලන මිලට වූ රුපියල් දෙසීය දහයකට සහල් කිලෝවක් අලෙවි කිරීමට නොහැකි නිසා නැවතත් මිලදී ගත් ස්ථානයට රැගෙන යාමට මෙලෙස මෙම සහල් තොගය තබා තිබූ බව වැටලීම සිදු කළ අවස්ථාවේ වෙළඳසැල් භාරව සිටි කාන්තාව කියා සිටි .
ඒ බව සනාථ කිරීමට හැකි සටහනක් ඉදිරිපත් කරන ලෙස නිලධාරීන් එම කාන්තාවට කියා සිටියද එම කාන්තාව ඉදිරිපත් කිරීමට අපොහොසත් විය .
ඒ අනුව මෙම වෙළඳසැලට නඩු පැවරීමට පාරිභෝගික නිලධාරීන් කටයුතු කරනු ලැබූ අතර සහල් තොගය පාලන මිලට ලබා දෙන ලෙස තරයේ අවවාද කරනු ලැබීය ..
අකුරැස්ස . එන්. කේ. ඉන්ද්‍රවංශ
