මැතිවරණ සඳහා කිසිදු දිනක රාජපක්ෂවරුන් බිය නොවන බැවින් මැතිවරණ සඳහා ඕනෑම අවස්ථාවක ආණ්ඩුව සූදානම් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා අද (10දා) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම මැතිවරණ විශිෂ්ටලෙස ජයග්‍රහණය කරන බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර - පළාත් පාලනවල කාලය අවසන් වුණා. දැන් අවුරුද්දකට දීර්ඝ කරලා තිබෙනවා. මේ වෙලාවේ කිව්වේ කෝවිඩ් නිසා ඡන්දය පවත්වන්න විදියක් නෑ කියලා. ඊයේ ඔබතුමන්ලා අනුරාධපුරයෙන් රැස්වීම් ආරම්භ කළා. කෝවිඩ් ප්‍රශ්නයක් බලපාන්නේ නෑ දේශපාලන කටයුතු කරන්න, මැතිවරණ කල් දාන්න.
ඒ වගේම රාජපක්ෂවරු ඉතිහාසයේ කවදාවත් කල් දාපු අයත් නෙවෙයි. ඒ නිසා මේ විදියට කටයුතු කරන්නේ නැතිව කඩිනමින් පළාත් පාලන මැතිවරණ පවත්වන්න. ඒ වගේම පළාත් පාලන ආයතනවල කොට්ඨාස දිනපු මන්ත්‍රීවරුන්ට විතරයි අර ප්‍රතිපාදන ඇවිත් තිබෙන්නේ. ඒ වගේම අනිත් මන්ත්‍රීවරුත් සභිකයක් ලෙස ඔවුන්ට ප්‍රතිපාදන ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කරන්න පුළුවන්ද?
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු - ඡන්ද කල් දැම්මා කියලා කිව්වා. ඡන්දවලට අපි ඕනෑම අවස්ථාවක ලෑස්තියි. ඡන්දවලට රාජපක්ෂවරු කවදාවත් බය වුණේ නෑ. ඔබතුමන්ලා ඡන්ද ඉල්ලනවනේ. අපි ඡන්ද දෙනවා. වෙලාවට දෙනවා. දෙනවා විතරක් නෙවෙයි අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නවා පොහොට්ටුව කියලත් මම මතක් කරනවා.
