අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්රී දිලිප් වෙදආරච්චි මහතාගේ පුත්රයා හා ලේලිය ඇප මත නිදහස් කරන ලෙස වලස්මුල්ල මහේස්ත්රාත් මහේෂිකා විජේතුංග මහත්මිය අද (08දා) නියෝග කළාය. මෙලෙස ඇප මත නිදහස් කෙරුණේ තංගල්ල හිටපු නගරාධිපති රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳයි.
රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු රවිඳු වෙදආරච්චි හා ඔහුගේ බිරිඳ විසින් පසුගිය දින ඔවුන්ට අයත් කැබ් රථයකින් පිටුපස ආවරණය නොකරන ලද කොටසේ අනාරක්ෂිත ලෙස ශීතකරණයක් රැගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැඳිගම හුවමාරුවෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් ඊට ඉඩ ලබා නොදී තිබේ. මේ හේතුවෙන් රවිඳු වෙදආරච්චි හා ඔහුගේ බිරිඳ විසින් එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණවැදී රාජකාරියට බාධා කර ඇත.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු හා සැකකාරිය අත්අංගුවට ගැනීමට පොලිස් විමර්ශන ආරම්භ කෙරුණු පසුබිමක් තුළ ඔවුන් දෙපළ පසුගිය 06වැනිදා සවස නීතිඥයෙකු මාර්ගයෙන් වීරකැටිය පොලීසියට භාර වී තිබේ.
පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරිය ඊයේ (07දා) දහවල් වලස්මුල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ වලස්මුල්ල මහේස්ත්රාත්වරයා මෙම සැකකරුවන් දෙදෙනා අද (08දා) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.
අනතුරුව නඩුව යළි අද (08දා) විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේ සැකකරු හා සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නිතිඥයන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරිය සැකකරු හා සැකකාරිය රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කරන ලෙස නියෝග කළාය. මෙම නඩුව යළි අනිද්දා (10දා) දිනයේ කැඳවීමට නියමිතය.