මහනුවර යාපනය ඒ නවය මාර්ගයේ ගල්කුලම ඉන්ධන පිරවුම්හල ආසන්නයේදී ඉකුත් 25දා රාත්‍රී පුද්ගලයකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කර මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත්කල සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු පෙරේදා (7දා) මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මාතර සාන්ත යෙනියා මාවතේ පදිංචි යුද හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වූ 30 හැවිරිදි පුද්ගලයෙකි.
වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා ඇත්තේ, ගල්කුලම සියඹලාගස්වැව ප්‍රදේශයේ පදිංචි, " ක්‍රිකට් සුද්දා" නැමැති 29 හැවිරිදි පුද්ගලයෙකි.
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'තම්මිට සුමිත් ' නැමැත්තා විසින් මෙම කුලී වෙඩික්කරු යොදා ගෙන තුවාලකරු ඝාතනය කිරීම සැලසුම් කර මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය සඳහන් කළේය.
වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතල තුවාල ලැබූ තැනැත්තා තම්මිට සුද්දා නමැති අයගේ හෙරොයින් මත්ද්‍රව්‍ය ඊෂි කෑශ් ක්‍රමයට ස්ථානගත කර ඇති අයෙකු වන අතර මීට දින කීපයකට පෙර හෙරොයින් ග්‍රෑම් 600ක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට සැක කරන බවද පොලිසි සදහන් කලේය.
වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ගම්පහ ප්‍රදේශයේ වෙඩි තැබීමේ සහ මිනී මැරුම් සිද්ධීන් 6 කට, මීගමුව ප්‍රදේශයේ එවැනි සිද්දීන් 3ට, ජාඇල ප්‍රදේශයේ එක් සිද්ධියකට සම්බන්ධ පුද්ගලයෙකු බව ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ බවද පොලිසිය සඳහන් කළේය.
මෙම කුලී වෙඩික්කරු එක් ඝාතනක් සඳහා රුපියල් ලක්ෂයක් සහ ලක්ෂ එකහමාරක මුදලක් ලබා ගන්නා බව ප්‍රශ්න ඉදිරි වලදී අනාවරණය වූ බවත් පොලිසිය කියයි.
මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අංශ කීපයක් ඔස්සේ සිදුකළ විමර්ශන වලින් අනතුරුව , අනුරාධපුර මූලස්ථාන පොලීසියේ නිලධාරීහු කණ්ඩායම් මාතර ප්‍රදේශයට ගොස් සැඟව සිටි සැකකරු අත්අඩංගුවට ගත්හ.
අත්අඩංගුවට ගත් සැකකරු අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.