ආණ්ඩුව රට ගොඩගන්න හදන විට වෘත්තිය සමිති අරගල කර රට ආපස්සට ඇදීමේ උත්සාහයක නිරතවන බවට නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා චෝදනා කරයි.
ඔහු පෙන්වා දෙන්නේ වෘත්තිය සමිතිවලට අවශ්‍යව ඇත්තේ තම දේශපාලන න්‍යාය පත්‍රය පමණක් ක්‍රියාත්මක කිරීමට බවයි.
වෘත්තිය සමිතිවල පදනම් විරහිත වැඩ වර්ජන හේතුවෙන් ආර්ථික අර්බුදය විසඳීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙල කඩාකප්පල් විය හැකි බවද ඇමතිවරයා පෙන්වා දෙයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව කියා සිටියේ ගම්පහ, සීදුව, නැගෙනහිර මූකලන්ගමුව වසමේ ඉදිකළ නව බහුකාර්ය ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා මෙසේද පැවසීය.
“ආර්ථික අර්බුදය ඇති වෙන්න සිදු වූ දේවල් එක්ක අවාසනාවකට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට එයට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපි දැනන් හිටියා 2021/ 2022 වනවිට කොවිඩ් වසංගතය එක්ක මේ ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මුලින්ම කිව්වේ මොකක්ද?, එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තිබෙන වරප්‍රසාද සියල්ල අහෝසි කළා. වාහන පර්මිට් ටික නැති කළා. රට ගොඩගන්න කැප කිරීම් කරන්න කිව්වා.
අර්බුදයක් ඇති වී ජනතාවට තිබුණ පීඩනයත් එක්ක සිටින විට ඔවුන්ව පාවිච්චි කරලා රටේ ඊනියා අරගලයක් නිර්මාණය කළා. ඊනියා අරගලයෙන් රටේ සංවර්ධනය සිදු වූවාද? ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් වුණාද? ඒ කිසිවක් සිදු වූනේ නෑ. ඊනියා අරගල හරහා ප්රජාතන්ත්රවාදී ලෙස බලයට පැමිණීමට නොහැකි පක්ෂ ගෙවල් ගිනි තියලා, මිනිස්සුන්ව මරලා, රාජ්‍ය දේපළ විනාශ කරලා ඔවුන්ගේ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කළා. මේවාට කවුද වියදම් කළේ. අරගලයේ හිටපු අයට බුරියානි දෙන්න රෑට කෑම ටික දෙන්න කෝටි ගණන් වියදම් කළේ කවුද? ඒ අයගේ නඩත්තුවට වියදම් කළේ කවුද? එදා අපි ඒ දේවල් කතා කරනකොට අපිව හෑල්ලුවට ලක් කළා. අපිව හංවඩු ගැහුවා. අරගලයෙන් පසු ඒ සල්ලි ටික බෙදා ගන්න බැරිව හොරු හොරු රංඩු කරනකොට, ඒ සල්ලි ආවේ කොහෙන්ද, සල්ලි ගියේ කාටද කියලා අද ඔප්පු වෙලා ඉවරයි.
අද අපිට ලොකු වගකීමක් තිබෙනවා. සියළු දේශපාලන පක්ෂ, එහි නායකයෝ එකතු වෙලා තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය පැත්තකින් තබා රටේ අනාගතය වෙනුවෙන් එකතු විය යුතුයි. පසුගිය වසරේ මේ වනවිට පැය ගාණක් අපිට ඉන්ධන පෝලීම් වල ඉන්න සිද්ධ වුණා. පිට රටින් තෙල්, බෙහෙත්, ගෑස් ටික ගෙන්න අපිට ඩොලර් නැති වුණා. අපි එහෙම කාලෙකට මුහුණ දුන්නා. එදා ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු ඇමති මණ්ඩලය ඉවත් වෙලා සියළු දෙනාට ආරාධනා කළා මේ රට භාර අරගෙන කටයුතු කරන්න කියලා. කයිය ගහන්න බොහෝ දෙනෙක් හිටියත් මේ රට භාර ගන්න හිටියේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විතරයි. මම තරම් එතුමාව විවේචනය කළ කෙනෙක් නැතිව ඇති. අපි දේශපාලන මත පැත්තකින් තියලා රට ගැන හිතලා එතුමාට උදව් කළා.
අද ක්රමාණුකූලව රුපියල ශක්තිමත් වනවා. ක්රමාණූකූලව බඩු මිල අඩු වෙනවා. සංචාරකයින් එන්න පටන් ගෙන තියෙනවා. ගම්වල ඉන්න කුහකයොන්ට දැන් රිදෙන්න අරන්. 225 ම හොරු කියනකොට තුන්දෙනෙක්ට විතරක් වෙන් වෙලා ඉන්න බෑ. ඒ තුන්දෙනා අද ඉදිරිපත් වෙන්නේ අපි මුකුත්ම කළේ නෑ වගේ. ඒ දේශපාලන පක්ෂය චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියවථ මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බලයට ගේන්න කටයුතු කළා. 225ම වග කිව යුතු නම් එදා මෙදා තුර මේ පක්ෂ, ආණ්ඩු සියල්ල වග කිව යුතුයි. ” යනුවෙන්ද පැවසීය.