යල කන්නයට අදාළ වී වගා කටයුතු වලින් සියයට අසූවකට වැඩි ප්රමාණයක වගා කටයුතු ආරම්භ කර තිබුණත් පොහොර සහනාධාරය ලබා දීමේ මුල් අදියරවත් තවම අවසන් කර ගැනීමට නොහැකි වී තිබෙන බව ජාතික ගොවිජන එකමුතුව සඳහන් කරයි.
මෙවර කන්නයේදී ආසන්න වශයෙන් ගොවීන් ලක්ෂ පහකට ආසන්න ප්රමාණයක් වී වගාවේ නිරතවන වුවත් පොහොර සහනාධාරයේ මුල් අදියර යටතේ අද (29දා) වන විට මුදල් ලබා දී තිබෙන්නේ ගොවීන් අනූ හත්දහසක ප්රමාණයකට බවද එම සංගමයේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
ඇතැම් වී වගා භූමිවල මාසයකට වැඩි වයසැති ගොයම් පවතින බවත් මීට අමතරව බෙහෝ භූමිවල දින 07ක් හෝ දින 14ක් වයසැති ගොයම් පවතින බවත් හෙතෙම පවසා සිටියේය.
රුපියල් විසිපන්දහසක පොහොර සහනාධාර මුදලක් ලැබිය යුතු වුවත් මෙවර කන්නයේදී මුලින් රුපියල් පහළොස් දහසක් හා දෙවැනි අදියරේදී රුපියල් දසදහසක මුදලක් ලබා දීමට ආණ්ඩුව තීරණය කර තිබෙන බවද ඔහු පැවසීය.
මේ අනුව පළමු අදියරේ මුදල් ලබා දීම පසුගිය 22 වැනි දින ආරම්භ කළ බවත් අදාළ මුදල පොහොර සහනාධාරය ලෙස ලැබිය යුතු වුවත් මෙවර එය වගා සහනාධාරය ලෙස නම් කර ලබා දෙන බවත් ඒ මහතා සඳහන් කළේය.
එහෙත් ගොවීන්ට රජයෙන් මුදල් ලබා දීම ආරම්භ කරනු ලැබුවේ පොහොර මිලදී ගැනීමට බවත් මුදල් ලබා දීමට පෙර ගොවීන්ට නොමිලේ පොහොර ලබාදුන් බවත් පැවසීය.
පොහොර සහනාධාර මුදල වී වැපිරීමට පෙර ලැබිය යුතුව තිබෙන බවත් එයට හේතු වී තිබෙන්නේ වී වැපිරිමට පෙර මඩ පොහොර යෙදිය යුතු වන නිසා බවත් ඔහු සඳහන් කළේය.